තොරතුරු පිරික්සීම
2026 මැයි 24 වැනි දින ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් එකිනෙකට සම්බන්ධ ප්‍රකාශ දෙකක් සිදු කරන ලදි: එනම්, (අ) පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පසුගිය අයවැයෙන් වෙන් කර තිබූ මුදල්, දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසාධන කටයුතු සඳහා වෙන් කළ රුපියල් බිලියන 500 ක් මූල්‍යනය කිරීමට යොමු කළ බවත්, (ආ) ඒ හේතුවෙන් මෙම වසරේ මැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් ඔහු විසින් පවසන ලදි.
මෙම කරුණු පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, 2026 අයවැය ඇස්තමේන්තු, 2026 පරිපූරක ඇස්තමේන්තුව සහ SC.FR 69/2023 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විශ්ලේෂණය කරන ලදි.
ටිල්වින් සිල්වා සඳහන් කළ කරුණු නිවැරදි වීමට නම් ප්‍රස්තූතයන් දෙකක් නිවැරදි විය යුතුය. පළමුව, පළාත් සභා මැතිවරණය සඳහා වෙන් කළ මුදල් දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසාධන කටයුතු සඳහා යොමු කර තිබිය යුතුය. දෙවනුව, එය මෙම වසරේ මැතිවරණය නොපැවැත්වීම සඳහා වලංගු හේතුවක් විය යුතුය.
පළමු ප්‍රස්තූතය සම්බන්ධයෙන් ගත් විට, ප්‍රවේශ විය හැකි අයවැය ලේඛන තුළින් පෙනී යන්නේ ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය තහවුරු නොවන බවයි. 2026 අයවැය ඇස්තමේන්තු මගින් මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට රුපියල් බිලියන පහක් වෙන් කර තිබිණි. මෙයින් වෙන්ව, 2025 දෙසැම්බර් 19 දිනැති පරිපූරක ඇස්තමේන්තුව මගින් දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසාධන කටයුතු සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කර තිබිණි. කෙසේ වෙතත්, පරිපූරක ඇස්තමේන්තුව මෙම රුපියල් බිලියන 500 “අතිරේක ප්‍රතිපාදනයක්” ලෙස හඳුන්වා දෙයි. එයින් අදහස් වන්නේ එය 2026 අයවැය මගින් ඒ වන විට අනුමත කර තිබූ වියදම්වලට අමතරව වෙන් කළ ප්‍රතිපාදනයක් වන බවයි. එනම්, ටිල්වින් සිල්වා සඳහන් කළ පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ හා සම්බන්ධ අරමුදල් ඒ වෙත යොමු කර නොමැති බවයි.
දෙවන ප්‍රස්තූතය සැලකූ විට, මූල්‍ය දුෂ්කරතා පමණක් පදනම් කරගෙන මැතිවරණයක් කල් දැමිය හැකි බවට වන ප්‍රකාශයට නීතිමය සහයක් නොලැබේ. පළාත් පාලන මැතිවරණ කල් දැමීම සඳහා 2023 වසරේදී ද ආණ්ඩුවේ විධායක අංශය විසින් මෙම තර්කයම ඉදිරිපත් කරන ලද අතර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් විනිශ්චයක් ලබා දෙන ලදි (SC.FR 69/2023 තීන්දුව බලන්න). මැතිවරණ පැවැත්වීම මගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකමක් බව අධිකරණය එහිදී තීරණය කළේය. එමෙන්ම, එම මූලික අයිතිවාසිකම සීමා කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් වලංගු වන්නේ, එය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව වලංගු නීතියක් මත පදනම් වී ඇත්නම් පමණක් බව ද අධිකරණය සඳහන් කළේය. මූල්‍ය දුෂ්කරතා පදනම් කරගෙන මැතිවරණ කල් දැමීමට විධායකයට අවසර ලබා දෙන කිසිදු පවතින නීතියක් නොමැති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එසේම, 2023 අධිකරණ තීන්දුවෙන් පසුව, දිට්වා සුළි කුණාටුවෙන් පසු දැරිය යුතු ප්‍රතිසාධන වියදම් පදනම් කරගෙන පළාත් සභා මැතිවරණ කල් දැමීමට අවසර ලබා දෙන කිසිදු පාර්ලිමේන්තු පනතක්, පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද හදිසි නීති රෙගුලාසියක් හෝ වෙනත් නීත්‍යනුකූලව පිළිගත් ක්‍රියාමාර්ගයක් FactCheck.lk වෙත ද හමු වූයේ නැත.
මෙම නිශ්චිත තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂිතව තීන්දුවක් ලෙස ලබා දී ඇති බැවින්, අරමුදල් නොමැති වීම පදනම් කරගෙන විධායකයට වුව ද නීත්‍යනුකූලව මැතිවරණයක් කල් දැමිය නොහැකි බව මින් පැහැදිලි වේ.
ඒ අනුව, එම කරුණු දෙකම සැලකූ විට ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය සාවද්‍ය වේ. පළමුව, දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසාධන කටයුතු සඳහා වෙන් කළ රුපියල් බිලියන 500 ක මුදල පළාත් සභා මැතිවරණ සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත වෙන් කළ අරමුදල් නොවන අතර, එය අතිරේක ප්‍රතිපාදනයකි. දෙවනුව, මූල්‍ය සීමාවන් හේතුවෙන් මෙම වසරේ පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි බවට නිගමනය කිරීමට නීත්‍යනුකූලව පිළිගත් කිසිදු පදනමක් මේ දක්වා හඳුනාගෙන නොමැත.
එබැවින්, ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.
අතිරේක සටහන: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 සහ 76 ව්‍යවස්ථා මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති ව්‍යවස්ථාදායක බලතල යටතේ සම්මත කරන ලද පාර්ලිමේන්තු පනතක්, ජනාධිපතිවරයා විසින් පනවන ලද සහ පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු හදිසි නීති රෙගුලාසි, හෝ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියකින් බලය පවරන ලද පුද්ගලයකු හෝ ආයතනයක් විසින් සම්පාදනය කරන ලද අනුබද්ධ නීති මෙහිදී නීතියක් වශයෙන් සලකනු ලැබීය.
මූලාශ්‍රය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව (1978)
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත
2026 අයවැය ඇස්තමේන්තු
2026 පරිපූරක ඇස්තමේන්තු
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් අංක SC/FR 69/2023