තොරතුරු පිරික්සීම
පෙට්‍රල් සහ ඩීසල් මිල සඳහා සහනාධාර ලබා දීමට රජයට මසකට රුපියල් බිලියන 20 ක රාජ්‍ය මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කරන ලදි.
මෙම පිරිවැය පිළිබඳ ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මාසික ආර්ථික දර්ශක (Monthly Indicators), මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය (මෙම මිල සූත්‍රය වෙරිටේ රිසර්ච් (Verité Research) විසින් පළ කරනු ලබන ඉන්ධන මිල ටැකරය (Fuel Price Tracker) හරහා මාසිකව ඇගයීමට ලක් කරනු ලැබේ), සහ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකට ලබා දෙන සහනාධාරයේ වටිනාකම පිළිබඳව රජය විසින් සිදු කර ඇති ප්‍රකාශයන් පරිශීලනය කරන ලදි.
රජය විසින් සිදු කර ඇති ප්රකාශයන්ට අනුව, පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 බැගින් ද, ඩීසල් ලීටරයකට රුපියල් 100 බැගින් ද වන සේ ඉන්ධන සඳහා සහනාධාර අනුපාතික ප්‍රකාශයට පත් කර තිබේ. අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි මේ සඳහා මසකට රුපියල් බිලියන 20 ක පමණ පිරිවැයක් දැරීමට සිදු වේ ද යන කරුණ FactCheck.lk විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.
අලෙවි පරිමාවන් සඳහා සම්පූර්ණ වර්ෂයකට අදාළ දත්ත පවතින වඩාත්ම මෑතකාලීන වර්ෂය වන්නේ 2025 වර්ෂයයි. එබැවින්, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික දර්ශක භාවිතා කරමින් ඉහත සඳහන් අනුපාතික ඇසුරින් 2025 වර්ෂයේ පෙට්‍රල් සහ ඩීසල් අලෙවි පරිමාවන් සඳහා වාර්ෂික සහනාධාර පිරිවැය ගණනය කරන ලදි.
අංක 1 වගුවෙහි දැක්වෙන පරිදි, 2026 වර්ෂයේදීත් මෙම අලෙවි පරිමාවම අලෙවි වුවහොත්, ඇස්තමේන්තුගත සහනාධාරය වසරකට රුපියල් බිලියන 251.75 ක් වනු ඇත. එනම්, එය මසකට රුපියල් බිලියන 20.98 කට සමාන වනු ඇත. මෙය අමාත්‍යවරයා සඳහන් කළ අගයට වඩා සියයට 5 ක් පමණ වැඩි අගයකි.
එබැවින්, අමාත්‍යවරයා සිදු කළ රුපියල් බිලියන 20 ක ප්‍රකාශය මගින් 2025 වර්ෂයට සාපේක්ෂව අලෙවියේ සියයට 5 ක පමණ අඩුවීමක් පුරෝකථනය කරන බව පෙනේ. මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවි පරිමාව අඩු වීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගත් විට (එය මෙතෙක් නිශ්චිතව ගණනය කළ නොහැකි වුව ද), ඒ සඳහා අඩු කරන ලද අගයක් පුරෝකථනය කිරීම සාධාරණ වේ.
ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.
අංක 1 වගුව: සහනාධාරය සඳහා ඇස්තමේන්තුගත මාසික පිරිවැය

අතිරේක සටහන 1: මෙහිදී රජය විසින් පිරිවැය “දරා ගෙන” තිබේ ද?
මෙම සහනාධාරය ලබා දීමේදී රජය විසින් පිරිවැය “දරා ගෙන” ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද, එය සම්පූර්ණයෙන්ම සත්‍යයක් නොවන බව සාක්ෂි අනුව පෙනී යයි. පෙට්‍රල් සඳහා ලබා දෙන සහනාධාරය සම්පූර්ණයෙන්ම පාහේ පියවා ගනු ලබන්නේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ලැබෙන අතිරික්ත බදු ආදායමෙනි. එබැවින්, මෙය පිරිවැය දැරීමකට වඩා අතිරේකව එකතු කර ගැනීමට තිබූ බදු ආදායම අත්හැරීමක් (waiver) ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි වේ. ඩීසල් සඳහා සහනාධාරයෙන් කොටසක් පමණක් මෙම අතිරික්ත බදු ආදායමෙන් ආවරණය වන අතර ඉතිරි කොටස රජය විසින් පිරිවැයක් ලෙස දරනු ලබයි.
ඉන්ධන බදු ක්‍රියාත්මක වන ආකාරය මීට හේතු වී ඇත. මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය යටතේ එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ මෙහෙයුම් බද්ද (SSCL) ගණනය කරනු ලබන්නේ ඉන්ධනවල ගොඩබෑමේ පිරිවැයේ (landed cost) ප්‍රතිශතයක් වශයෙනි. එම නිසා, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලට සමගාමීව මෙම බදු ප්‍රමාණයන් ද ඉහළ යන අතර රජය අයවැය මගින් බලාපොරොත්තු නොවූ අතිරික්ත ආදායමක් ඉන් උත්පාදනය වේ. මේ අනුව, 2026 මාර්තු 1 සිට මාර්තු 22 දක්වා කාලය තුළ ඉන්ධන ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම නිසා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 21 කත්, ඩීසල් ලීටරයකින් රුපියල් 31.5 කත් අතිරික්ත බදු ආදායමක් රජයට ලැබී ඇත.
පෙට්‍රල් සම්බන්ධයෙන් ගත් කළ, මෙම රුපියල් 21 ක බදු වැඩිවීම රජය ප්‍රකාශ කරන රුපියල් 20 ක සහනාධාරයට බොහෝ දුරට සමාන වේ. එහිදී රජය මිල අඩු කිරීමට මුදල් වැය නොකරන අතර, සිදු කරනුයේ මිල වැඩි වීම නිසා ලැබීමට තිබූ අතිරේක බදු මුදල එකතු කර නොගැනීම පමණි. ඩීසල් සඳහා ලැබෙන රුපියල් 31.5 ක අතිරික්ත බදු ආදායම මගින් රුපියල් 100 ක සහනාධාරයෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් පමණක් ආවරණය වේ. ඉතිරි රුපියල් 68.5 ක මුදල රජය විසින් සැබෑ ලෙසම දරනු ලබන රාජ්‍ය මූල්‍ය පිරිවැය (fiscal cost) නියෝජනය කරයි.

මූලාශ්‍රය
- ශ්‍රී ලංකා මහ බැංකුව. 2026 ජනවාරි මාසය සඳහා මාසික දර්ශක. ප්‍රවේශය: MEI_202601_e.pdf
- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පළ කර ඇති ඉන්ධන මිල. ප්‍රවේශය: https://ceypetco.gov.lk/marketing-sales/
- ඉන්ධන මිල ට්‍රැකරය. ප්‍රවේශය: https://dashboards.publicfinance.lk/fuel-price-tracker/
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, 2026 අප්‍රේල් 7 වැනි දිනට අදාළ සජීවී පටිගතකිරිම්. ප්‍රවේශය: https://www.youtube.com/watch?v=cWm2NgMzUp0