අනුර කුමාර දිසානායක

ජනාධිපති අනුර කුමාර තෙල්වලට රුපියලෙන් රුපියල ගණන් හදයි

"

ඩොලරයකින් වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියොත් රු. 2 කින් තෙල් මිල ඉහළ යාමකට අපේ වෙළඳපොළ බලපෑමක් ඇති කරනවා

පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | මාර්තු 20, 2026

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෑතකදී ඉන්ධන මිලෙහි සිදු වූ වැඩි වීමත් සමඟ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල එ.ජ.ඩොලර් 1 කින් ඉහළ යන විට, ලංකාවේ ඉන්ධන මිල රුපියල් 2 කින් ඉහළ යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය භාවිතා කරන ලදි. මෙම මිල සූත්‍රය වෙරිටේ රිසර්ච් ආයතනය මගින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන ඉන්ධන මිල ට්‍රැකරය මගින් තක්සේරු කරනු ලැබේ.

අංක 1 වගුවෙහි දැක්වෙන පරිදි, බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 90 සිට ඩොලර් 91 දක්වා ඉහළ යන්නේ යැයි උපකල්පනය කළහොත්, රුපියල් 313.16 ක විනිමය අනුපාතිකයක් යටතේ මිල සූත්‍රයට අනුව දේශීය ඉන්ධන මිල රුපියල් 2.43 කින් ඉහළ යයි.

කෙසේ වෙතත්, ඉහළ ගිය මෙම මුදලින් රුපියල් 0.42 ක් මිල සූත්‍රය යටතේ ගෙවිය යුතු බදුවලින් සමන්විත වේ. එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කරනු ලැබීමත්, ඉන්ධන පිරිවැය ඉහළ යාමත් සමඟ එම බදු ප්‍රමාණයන් ද ඉහළ යාමත් මෙයට හේතු වේ. එබැවින්, මිලෙහි එම සංරචකය මගින් ඉන්ධන සැපයුමේ මූලික පිරිවැයේ සිදු වූ වැඩි වීම නිරූපණය නොවේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොරතෙල් බැරලයක මිල එ.ජ.ඩොලර් 1 කින් ඉහළ යන සෑම විටකම සූත්‍රය මත පදනම් වූ මිල රුපියල් 2.43 කින් ඉහළ ගිය ද, ඉන්ධන සැපයුමේ සැබෑ මූලික පිරිවැය ඉහළ යන්නේ රුපියල් 2.01 කින් පමණි. මෙය ජනාධිපතිවරයා විසින් සඳහන් කරන ලද අගය සමග සමපාත වේ.

එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: ගෝලීය වෙළඳපොළේ තෙල් මිල වැඩි වන සෑම එ.ජ.ඩොලරයක් සඳහාම දේශීය ඉන්ධන මිල වෙනස් වන අයුරු

අතිරේක සටහන 1: වෙරිටේ රිසර්ච් ආයතනය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන මිල ට්‍රැකරයෙහි විස්තර කර ඇති ඉන්ධන මිල සූත්‍රය මත පදනම්ව මෙම විශ්ලේෂණය සිදු කර ඇත: https://veriteit.github.io/FuelPriceTracker/data/Fuel-Price-Methodology.pdf

 



මූලාශ්‍රය

ඉන්ධන මිල ට්‍රැකරය, වෙරිටේ රිසර්ච්, https://dashboards.publicfinance.lk/fuel-price-tracker/

2026, මාර්තු 20, පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව

https://www.youtube.com/watch?v=pfSLMgETOOw&t=9464s

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.