රනිල් වික්‍රමසිංහ

මැතිවරණ පිරිවැය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී අග්‍රාමාත්‍යවරයා පරාජිතයි

"

දැන් මැතිවරණයකට යන්න බැහැ. ආර්ථිකය නරක අතට හැරෙමින් පවතිනවා. අපි ආර්ථිකය ස්ථාවර කළ යුතුයි. පසුගිය මැතිවරණයේ වියදම රුපියල් බිලියන 10යි. ඒ සඳහා මෙවර රුපියල් බිලියන 20ක් වැය වේවි. එක් අපේක්ෂකයෙකුට ප්‍රචාරක කටයුතු සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 25ක් අවශ්‍ය වෙනවා. අපට අපේක්ෂකයින් 196 ක් තෝරා ගන්න තිබෙනවා

ඩේලි නිව්ස් | මැයි 8, 2022

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

ඩේලි නිව්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීමට ප්‍රධාන හේතු දෙකක් ඉදිරිපත් කරයි: (1) රජයට දැරීමට සිදු වන වියදම; සහ (2) එමගින් ආර්ථිකය මත ඇති කරන අහිතකර බලපෑම. 

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ පරිපාලන වාර්තා පරිශීලනය කර ඇත. 

පසුගිය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වියදම් වූ බවත්, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වැය වන බවත් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙන අයුරින් 2020 අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරණය සඳහා වියදම් වූ මුළු මුදල රුපියල් බිලියන 5.7 ක් වන අතර එය අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද මුදලින් අඩක් පමණ වේ. එහෙයින් පසුගිය මැතිවරණය වෙනුවෙන් දරන ලද පිරිවැය සඳහා අග්‍රාමාත්‍යවරයා ගෙන දැක් වූ අගයන් සැබෑ පිරිවැයට සාපේක්ෂව විශාල වශයෙන් වෙනස් වේ. එමෙන්ම, කොවිඩ්-19 ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට සිදු වීම හේතුවෙන් පසුගිය මැතිවරණය සාමාන්‍ය මැතිවරණයකට වඩා වියදම් අධික වූවක් ලෙස සලකනු ලබන බැවින් මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20 ක් (පසුගිය මැතිවරණයට වැය වූ මුදල මෙන් 4 ගුණයක්) වැය වනු ඇතැයි යනුවෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදරිපත් කරන ලද ඇස්තමේන්තුව ද පදනම් විරහිත වේ. 

ආර්ථිකයට සිදු වන බලපෑම සැලකීමේදී අග්‍රමාත්‍යවරයා විසින් හිතකර බලපෑමක් අහිතකර බලපෑමක් ලෙස නිවැරදි නොවන අයුරින් අර්ථ දක්වා තිබේ. ඉදිරියේදී අපේක්ෂකයින්ගේ ප්‍රචාරක වියදම රු. බිලියන 30-40 විය හැකි යැයි ඔහු ඇස්තමේන්තු කරයි.* මෙහිදී සත්‍ය කරුණ නම් අපේක්ෂකයින් විසින් සිදු කෙරෙන එවැනි වියදම් හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය වන බවයි. එමෙන්ම, මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළ සේවාවන් සපයන පුද්ගලයින්ට සහ ආයතනවලට ඉන් ප්‍රතිලාභයක් අත් වේ. රාජ්‍ය ආදායමට ද ඉන් ප්‍රතිලාභ ලැබේ. දැනට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති යටතේ අපේක්ෂිත බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් පමණ වනු ඇත.** ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් වන මුදල පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ ඇස්තමේන්තුව පදනම්ව, අතිරේක වශයෙන් බදු අය කර ගත හැකි ආදායම ලෙසට එම මුදලින් අඩක් පමණක් උපයා ගත්ත ද ඉන් රජයේ ආදායම රු. බිලියන 2 න් පමණ වැඩි වනු ඇත. මෙමගින් ආර්ථිකය මත ඇති කෙරෙනුයේ අහිතකර බලපෑමක් නොව හිතකර බලපෑමකි. 

( i ) මීට පෙර පවත්වන ලද හා පැවැත්වීමට නියමිත මැතිවරණවල පිරිවැය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ තක්සේරුව පමණට වඩා විශාල වන අතරම, (ii) ආර්ථිකය මත බලපෑම පිළිබඳ ප්‍රකාශ කිරීමේදී ආර්ථික ක්‍රියාකාරකම්, ප්‍රචාරණ සේවා ලබා දෙන්නන් සහ රජයේ ආදායම වෙනුවෙන් අත්වන ප්‍රතිලාභ නොසලකා හරිමින් මැතිවරණයක් පැවැත්වීමෙන් ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදු වන බවට ප්‍රකාශ කර තිබේ. මේ අනුව, මෙම කරුණු දෙකම සැලකීමේදී ඒ පිළිබඳ නිවැරදි ඇගයීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් කිසිසේත් පිළිබිඹු නොවේ. 

එබැවින්, අග්‍රමාත්‍යවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු. 

* 2020 මහ මැතිවරණයේ දී සියලුම අපේක්ෂකයින් සඳහා මුළු ප්‍රචාරක වියදම රු. බිලියන 10-13 අතර වූ බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (Centre for Monitoring Election Violence) විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත. 

* * 2019-2021 කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ආදායමේ සාමාන්‍යය (එනම්, වත්මන් ජනාධිපතිවරයා යටතේ) 9.1% කි. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම් 



මූලාශ්‍රය

2022 අයවැය කමිටු රැස්වීමේදී ඉදිරිපත් කිරීමට සම්පාදනය කරන ලද මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව: https://elections.gov.lk/web/wp-content/uploads/pdf/admin_reports/AR2022_E.pdf

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් සම්පාදිත 2020 මැතිවරණය පිළිබඳ අවසන් වාර්තාව: https://cmev.org/wp-content/uploads/2021/02/Final-Report_Campaign-Finance_CMEV_Parliamentary-Election_2020-1.pdf

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2021: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.