රනිල් වික්‍රමසිංහ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරයාගෙන් අපැහැදිලි ප්‍රකාශයක්?

"

2023-2027 කාලය තුළ ණය සේවා අඩු කිරීම බාහිර මූල්‍ය හිඩැස් පියවීමට ප්‍රමාණවත් විය යුතුය.කාර්ය මණ්ඩල මූලික තත්ත්වය යටතේ, 2022 දී එකතුවූ හිඟ මුදල් ද ඇතුළුව ඩොලර් බිලියන 17 ක ණය සේවා අඩු කිරීමක් අවශ්‍ය වෙනවා.ඉතින් අපි එක පැත්තකින් බිලියන 17ක ණය අඩු කිරීමක් සිදු කිරිමටයි අපේක්ෂා කරන්නේ. ඔබට එය අවශ්‍යද, නැ

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව | අප්‍රේල් 26, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ඇසූ සැනින් එළැඹිය හැකි අර්ථකථනය වන්නේ ශ්‍රී ලංකාව තම මුළු ණය ප්‍රමාණයෙන් එ.ජ. ඩොලර් බිලියන 17 ක් අඩු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටි‍න බවයි. කෙසේ වෙතත්, වෙනත් අර්ථකථනයක් වෙත එළැඹීම සඳහා ද මෙහිදී ඉඩක් ඇත: එනම්, 2023-2027 සිට ගෙවිය යුතු ණය ආපසු ගෙවීම් ප්‍රවාහය අඩු කිරීම එමගින් අදහස් කර ඇති බවයි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව (IMF Country Report on Sri Lanka – IMFCR වාර්තාව) (අංක 23/116) සහ 2023 මාර්තු මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ආයෝජක වාර්තාව පරිශීලනය කර ඇත.

2023 – 27 අතර ණය සේවාකරණයේ අඩු කිරීම, බාහිර මූල්‍ය හිඩැස් පියවීම සඳහා ප්‍රමාණවත් විය යුතුයි. කාර්ය මණ්ඩල මූලික තත්ත්වය යටතේ දක්වා ඇති පරිදි ණය සේවාකරණය එ.ජ.ඩොලර් බිලියන 17 න් අඩු වීම මේ සඳහා අවශ්‍ය කෙරේ”, යනුවෙන් IMFCR වාර්තාවෙහි සඳහන්ව තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙහි ද මේ අයුරින්ම මෙම කරුණ සඳහන්ව තිබේ.

2023 මාර්තු මාසයේ මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති ආයෝජක වාර්තාව මෙය පෙන්නුම් කර ඇත්තේ 2023-2027 අතර කාලය තුළ සිදු විය යුතු ආපසු ගෙවීම් ප්‍රවාහයේ එ.ජ.ඩොලර් බිලියන 17 ක අඩු වීමක් ලෙසින් මිස මුළු ණය ප්‍රමාණයේ අඩු විමක් ලෙස නොවේ (රූප සටහන අංක 1  බලන්න).  ලබාගත් නව ණය සහ බහුපාර්ශ්වික ණය හිමියන් වෙත යොමු කළ යුතු ආපසු ගෙවීම් ප්‍රවාහය අඩු වෙතැයි මෙහිදී අපේක්ෂා නොකෙරේ. ඒ වෙනුවට, 2023-2027 අතර ද්විපාර්ශ්වික සහ පුද්ගලික ණය හිමියන්ට දැනට ගෙවිය යුතු ආපසු ගෙවීම් ප්‍රවාහයේ අපේක්ෂිත 75%ක අඩු වීම මගින් මෙම එ.ජ.ඩොලර් බිලියන 17 ක අඩු වීම සිදු වනු ඇත.

මෙහිදී සිදු වන්නේ ණය ප්‍රමාණයේ අඩු වීමක් ය යන අර්ථකථනයට ඉඩ තබමින්, “ඉතින් අපි එක පැත්තකින් බිලියන 17ක ණය අඩු කිරීමක් සිදු කිරිමටයි අපේක්ෂා කරන්නේ. ඔබට එය අවශ්‍යද, නැද්ද” යනුවෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අභියෝග කරයි. කෙසේ වෙතත්, IMFCR වාර්තාව ණය අඩු කිරීම පිළිබඳව විස්තර කිරීමේදී ආපසු ගෙවීම් ප්‍රවාහය ගැන කතා කරන අතර ජනාධිපතිවරයා ද ඔහුගේ විස්තර කිරීමේදී ඒ සඳහා එම වාර්තාවේ ශෛලියම යොදා ගනී.

එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ තිබූ නොපැහැදිලිතාව එමගින් දුරු වන අතර  ඔහුගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරන්නෙමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්  වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම  ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අංක 1 රූප සටහන: 2023-27 විදේශ ණය සේවාකරණ ගෙවීම් (මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ ආයෝජක වාර්තාවෙන් උපුටා ගන්නා ලදි)

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකූව විසින් ඉදිරිපත් කරන ලද ආයෝජක වාර්තාව



Additional Note

අතිරේක සටහන: ණය ප්‍රවාහය සහ ණය ප්‍රමාණය අඩු කිරීම අතර පවතින වෙනස උදාහරණයකින් මෙලෙස තේරුම් ගත හැක: ශ්‍රී ලංකාවේ, Covid-19 වසංගතය අතරතුර බැංකු විසින් ලබා දුන් ණය සහන හේතුවෙන් ණය ආපසු ගෙවීම කල් දැමීමට ඉඩ ලැබිණ. කෙසේ වෙතත්, එමගින් ණය සඳහා ගෙවිය යුතු ප්‍රාග්ධනය හෝ පොලී ප්‍රමාණය හෝ අඩු වූයේ නැත; පොලී ගෙවීම අත්හිටුවා තිබුණි නම්, එම පොළිය ද ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණයට ප්‍රාග්ධනය ලෙස එකතු කරන ලදි. ණය සහන හිමි වූ අයට එම කාලය තුළ යොමු වූ ණය ආපසු ගෙවීම් ප්‍රවාහ අඩු විය; එනමුත්, ණය සහන කාලය අවසන් වීමෙන් පසුව සමස්ත ප්‍රාග්ධනයත් එකතු වූ තිබූ පොළියත් ආපසු ගෙවීම අවශ්‍ය විය.


මූලාශ්‍රය

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව (අංක.23/116), https://www.elibrary.imf.org/view/journals/002/2023/116/002.2023.issue-116-en.xml [ අවසන් වරට ප්‍රවේශය 18 මැයි 2023].

මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකූව විසින් ඉදිරිපත් කරන ලද ආයෝජක වාර්තාව, මාර්තු 2023, https://www.treasury.gov.lk/api/file/9f8870d3-4840-443d-b552-e5c0890e1613[අවසන් වරට ප්‍රවේශය 18 මැයි 2023].

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.