ඉරාන් වික්‍රමරත්න

පා.ම. වික්‍රමරත්න උද්ධමනය පිළිබඳ කතා කිරීමේදී මඳක් වැඩි අගයන් ගෙන දක්වයි

"

ආහාරවල උද්ධමනය ගිය මාසේ ඉඳලා මේ මාසෙට 46.6% ඉඳන් 57% ට ඉහළ ගිහිල්ලා තියෙනවා. එක මාසයකින් උද්ධමනය - ආහාර උද්ධමනය - 10% ට වැඩිය ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේවා අවුරුද්දකින්වත් 10% න් යන්නේ නැති උද්ධමනයක්. නමුත් අද මාසෙකින් ඒ ප්‍රමාණයට ඉහළ ගිහිල්ලා තියෙනවා.

ලංකාදීප | ජූනි 8, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2022 අප්‍රේල් මාසයේදී 46.6% ක් ලෙස පැවති ආහාර උද්ධමනය 2022 මැයි මාසයේදී 57% දක්වා වර්ධනය වූ බවත්, ඒ අනුව, ආහාර උද්ධමනය එක් මසකදී පමණක් 10% ට වැඩි වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් පා.ම.වික්‍රමරත්න සිය ප්‍රකාශය මගින් සඳහන් කරයි.

මෙම ප්‍රකාශයේ ඇතුළත් කරුණෙහි සත්‍යාසත්‍යභාවය පිරික්සීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (Colombo Consumer Price Index – CCPI) ඇතුළත් ආහාර සහ ආහාර නොවන කණ්ඩායම්වලට අදාළ උද්ධමනය පිළිබඳ සංඛ්‍යාලේඛන පරිශීලනය කර ඇත.

අනුක්‍රමික වසර දෙකක එකම මාසය සඳහා පැවති පදනම් දර්ශකයේ ‌අගයන් අතර වෙනසේ ප්‍රතිශතය යොදා ගනිමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය ගණනය කරනු ලැබේ. කෙසේ වෙතත්, උද්ධමනයේ මාසික වෙනස්වීම ගණනය කිරීමේදී එකම වසරක් තුළ අනුක්‍රමික මාස දෙකක් සඳහා වාර්තා වූ පදනම් දර්ශකය අතර වෙනසේ ප්‍රතිශතය යොදා ගැනේ.

2022 අප්‍රේල් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා කළ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 46.6% ක් වූ අතර 2022 මැයි මාසය සඳහා එය 57.4% ක් විය. මෙම සංඛ්‍යාවන් පා.ම.වික්‍රමරත්න විසින් සිදු කරන ලද ප්‍රකාශයේ ඇතුළත් සංඛ්‍යාවන් සමඟ සැසඳේ. කෙසේ වෙතත්, 2022 අප්‍රේල් සිට මැයි දක්වා වාර්තා වූ උද්ධමනයේ මාසික වර්ධනය 9.7% ක් විය. 2022 අප්‍රේල් සිට මැයි දක්වා කාලය තුළ ආහාර උද්ධමනය 10% ට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කළ බව පැවසීමේදී පා.ම. විසින් ගෙන හැර දක්වන ලද්දේ 10.8% ක් (57.4% – 46.6%) ලෙස සටහන්ව තිබූ ලක්ෂ්‍යමය උද්ධමනය සඳහා වන සංඛ්‍යා අතර වෙනස විය හැක.

මෙලෙස, වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සඳහා දැක්වූ සංඛ්‍යාවන් සම්බන්ධයෙන් පා.ම.ගේ ප්‍රකාශය නිවැරදි වේ. එනමුත්, උද්ධමනයේ මාසික වෙනස්වීම සඳහා වූ සැබෑ අගය ඔහු විසින් දක්වන්නට යෙදුණු අගයට ආසන්න වුව ද, එම අගය ආරෝපණය කර ඇති ආකාරය නිවැරදි නොවේ.

එබැවින්, පා.ම. වික්‍රමරත්න‌ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

සැ.යු.: මෙම කරුණු පිරික්සීම ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී 2022 ජූනි මාසය සඳහා 54.6% ලෙස පැවති වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ දී 60.8% දක්වා ඉහළ ගොස් තිබූ අතර, ජූලි මාසය සඳහා ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 90.9% ලෙස වාර්තා වී තිබිණ.



Additional Note

කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරනු ලබන්නේ කෙසේ ද? කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල කුටුම්භයන් විසින් මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවල මිල ගණන් වෙනස්වීමේ සාමාන්‍යය කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් දක්වනු ලැබේ. විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, මරදාන, වැල්ලවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, බොරැල්ල, කිරුළපන, දෙහිවල, කෝට්ටේ, නුගේගොඩ, කොළොන්නාව, රත්මලාන සහ නාරාහේන්පිට යන ස්ථානවල පිහිටී මධ්‍යස්ථාන 14 කින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට ඇතුළත් භාණ්ඩවල මිලගණන් එකතු කරනු ලැබේ. සාමාන්‍ය නාගරික කුටුම්භයක පරිභෝජන වියදම නියෝජනය කරන අයිතම 392 ක් මෙම පාරිභෝගික පැසට ඇතුළත් වේ.


මූලාශ්‍රය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) ආහාර සහ ආහාර නොවන කණ්ඩායම් සඳහා උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI (පදනම: 2013=100), ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව; http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/Inflation-FoodAndNonFoodGroups  [ අවසන් වරට ප්‍රවේශය 2022 ජූලි 4]

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) (පදනම: 2013=100) 2022 ජූනි, ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව; http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/CCPI_20220630E [ අවසන් වරට ප්‍රවේශය 2022 ජූලි 4]

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.