ගයන්ත කරුණාතිලක

පා.ම. ගයන්තට ශිෂ්‍ය-අධ්‍යයන කාර්ය මණ්ඩල අනුපාතය වරදී

"

අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව [මෑත මාසවලදී] අඩු වෙමින් පවතින නමුත්, 2017 සිට විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව දෙගුණ වෙලා තිබෙනවා.

NewsFirst | ඔක්තෝබර් 19, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

රාජ්‍ය විශ්ව විද්‍යාලවල, (1) අධ්‍යයන කාර්ය මණ්ඩලය අඩු වෙමින් පවතින බවත්, (2) 2017 සිට මේ දක්වා කාලය තුළ වාර්ෂිකව ඇතුළත් කර ගත්සිසුන් සංඛ්‍යාව දෙගුණ වී ඇති බවත්, පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවකදී පා.ම. ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය. මෙම කරුණු දෙකම නිවැරදි නම්, ඇතුළත් කර ගන්නා එක් ශිෂ්‍යයෙක් සඳහා සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සංඛ්‍යාවේ විශාල අඩුවීමක් සිදු වී ඇතැයි ඉන් අදහස් කෙරේ – එනම්, ඇතුළත් කර ගන්නා සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව අතර අනුපාතය 2017 සිට දෙගුණයකට වඩා වැඩි වී තිබිය යුතුය.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත මගින් පිහිටුවන ලද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2012 සිට 2022 දක්වා කාලයට අදාළව පළ කරන ලද නවතම දත්ත භාවිතා කරමින් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සංඛ්‍යාලේඛන වාර්තා පරිශීලනය කරන ලදි.

 

2020 දී ඇතුළත් කරන ලද විශ්ව විද්‍යාල දෙකක් ද (ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය සහ වව්නියා විශ්ව විද්‍යාලය) ඇතුළුව 2023 දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින ශ්‍රී ලංකාවේ පිහිටි මුළු විශ්ව විද්‍යාල සංඛ්‍යාව 17 කි. විවෘත විශ්ව විද්‍යාලය හැරුණු විට, ඉතිරිවිශ්ව විද්‍යාල 16 අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසුන් බඳවා ගැනීම පිළිබඳ තොරතුරු සපයයි. මෙම විශ්ලේෂණය එම දත්ත මත පදනම් වේ (අතිරේක සටහන බලන්න).

 

පළමු කරුණ: 2017-2022 දක්වා වූ වසර පහ තුළ අධ්‍යයන කාර්ය මණ්ඩලය 9,356 ක් දක්වා වැඩි විය. මෙය 21%ක ඉහළ යාමකි. එබැවින්,අධ්‍යයන කාර්ය මණ්ඩලය “අඩු වෙමින් පවතී” යන ප්‍රකාශය නිවැරදි නොවේ. ඇත්ත වශයෙන්ම, 2012 සිට 2022 දක්වා වූ වසර 10 ක කාලය තුළ අධ්‍යයන කාර්ය මණ්ඩලය දෙගුණ වී ඇත – එනම්, කාර්ය මණ්ඩලය 101% කින් වැඩි වී ඇත.

දෙවැනි කරුණ: 2017 සිට 2022 දක්වා වූ වසර පහක කාලය තුළ වාර්ෂික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගත් සිසුන් සංඛ්‍යාව 42,519 දක්වා වැඩි වූ අතර මෙය 43% ඉහළ යාමකි. එබැවින්, ඇතුළත් කර ගන්නා ලද විශ්ව විද්‍යාල සිසුන් සංඛ්‍යාව දෙගුණයක් වී ඇතැයි යන ප්‍රකාශය ද නිවැරදි නොවේ. 2012 සිට 2022 දක්වා වූ වසර 10 ක කාලය තුළ පවා ඇතුළත් කර ගන්නා ලද සිසුන් සංඛ්‍යාව දෙගුණයක් වී නොමැත. එය ඉහළ ගොස් ඇත්තේ52% කින් පමණක් වන අතර, එය අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉහළ ගිය ප්‍රතිශතයට වඩා බෙහෙවින් අඩු ය.

ඇතුළත් කර ගන්නා ලද සිසුන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව අතර අනුපාතය පසුගිය දශකය තුළ 3.63 සහ 6.00 අතර උච්චාවචනය වී ඇත (අඩු අනුපාතයන් වඩාත් සුදුසු වේ). 2022 වර්ෂයේදී මෙම අනුපාතය 4.54 ක් වූ අතර එය සාමාන්‍යයට ආසන්න වේ.

ඇතුළත් කර ගන්නා ලද සිසුන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව අතර අනුපාතය පා.ම. සඳහන් කළ කරුණුවලින් ගම්‍ය වන පරිදි 2017 වසරේ සිට දෙගුණ වී නොමැති බව ද අංක 1 වගුව පෙන්නුම් කරයි. එය වැඩි වූයේ 18% කින් පමණි.

විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ලද සිසුන් සංඛ්‍යාව 2017 (වසර 5 ක කාලයක්) සිට දෙගුණයක් වී නොමැති අතර 2012 (වසර 10ක කාලයක්) සිට පවා එය ඉහළ ගොස් ඇත්තේ 50% න් පමණි; අධ්‍යයන කාර්ය මණ්ඩලය අඩු නොවී ඇති අතර එය 2017 සිට 21% කින් ඉහළ ගොස් තිබෙන අතර 2012 සිට එය දෙගුණ වී ඇත. ඒ අනුව, පා.ම. සඳහන් කළ කරුණු දෙකම අතිශයින්ම සාවද්‍ය වේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: තුළත් කර ගත් සිසුන් සංඛ්‍යාව සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය

අතිරේක සටහන :

  1. උසස් අධ්‍යාපන ආයතන- රාජ්‍ය අනුබද්ධිත ආයතන: මෙම ආයතන 1978 පනතේ 2අ හෝ 2ආ වගන්ති යටතේ පිහිටුවා ඇති උසස් අධ්‍යාපන ආයතන වේ. දේශීය වෛද්‍ය විද්‍යායතනය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසල මීට උදාහරණ‌ වේ.
  2. විවෘත විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව පිළිබඳ විස්තර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සපයනු නොලැබේ.
  3. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නොපවතින රජයේ විද්‍යායතන: විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයෙන් බැහැරව රජය විසින් පවත්වාගෙන යනු ලබන ආයතන ද තිබේ. එවැනි ආයතන 6 ක් ඇත.

මූලාශ්‍රය: විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=114&Itemid=46&lang=en

4. විදේශ-උපාධි ප්‍රදානය කරන ආයතන: විදේශීය උපාධි, ඩිප්ලෝමා සහ අනෙකුත් අධ්‍යාපනික සම්මාන පිළිගැනීමට ලක් කිරීම සඳහා 1978 පනතේ 18 (2)(එ) වගන්තිය යටතේ ආඥා පනතක් සෑදීමේ හැකියාව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇත. විදේශ උපාධි පිරිනැමීමේ ආයතන දෙවර්ගයකි. පළමු වර්ගය, යම් උපාධියක් හැදෑරීම සඳහා සිසුන්ගේ පැමිණීම අනිවාර්ය වන “අනිවාර්ය වාහක (necessary counduits)” වේ. ඉම්පීරියල් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් (Imperial Institute of Higher Education – IIHE) මීට උදාහරණයකි. දෙවන වර්ගයේ විදේශ-උපාධි ප්‍රදානය කරන ආයතන “උපකාරක වාහක” වේ. මෙම ආයතන සිසුන්ට විදේශ උපාධියක් ලබා ගැනීමට අවශ්‍ය සේවාවන් සපයයි. ලන්ඩන් විශ්ව විද්‍යාලය ( UoL ) විසින් එහි ඉගැන්වීම ලබා දීමේ සේවා සඳහා අනුබද්ධිත මධ්‍යස්ථානය ලෙස පිළිගෙන ඇති රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) මෙවැනි ආයතනයකට උදාහරණයකි. රෝයල් ඉන්ස්ටිටියුට් යනු එහි සේවාවන් ලබා ගැනීමට එහි සිසුන්ට සහය වන ආයතනයකි. මේ හේතුවෙන් එය “උපකාරක වාහකයක්” ලෙස ක්‍රියා කරයි.

5. උපාධි පිරිනැමීමේ හැකියාව සහිත පෞද්ගලික ආයතන: මෙම ආයතන ශ්‍රී ලංකාවේ උපාධි ප්‍රදානය කරන ආයතන ලෙස ක්‍රියා කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ඇත. එවැනි ආයතන සඳහා උදාහරණ ලෙස දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (South Asian Institute of Technology and Medicine – SAITM) සහ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (National Institute of Business Management – NIMB) ඇතුළත් වේ.

6. වෘත්තීය සහ පුහුණු ආයතන: සියලුම තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන ආයතන 1990 අංක 20 දරන තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන පනත යටතේ ලියාපදිංචි විය යුතුය.



මූලාශ්‍රය

මූලාශ්‍ර:

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සංඛ්‍යාලේඛන, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, https://www.ugc.ac.lk/index.php?searchword=Sri+Lanka+university+Statistics&ordering=&searchphrase=all&Itemid=1&option=com_search&lang=en

1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත, https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=49&Itemid=195&lang=en

ශ්‍රී ලංකාවේ තෘතීයික අධ්‍යාපනයේ පුද්ගලික අංශයේ සහභාගිත්වය: තොරතුරු සහ දත්ත සමාලෝචනයක් (Private Sector Participation in Sri Lanka’s Tertiary Education: A Review of Information and Data), වෙරිටේ රිසර්ච්, https://www.veriteresearch.org/wp-content/uploads/2019/12/Private-Sector-Participation-in-Sri-Lankas -Tertiary-Education.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.