උදය ගම්මන්පිල

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියන්නේ විදෙස් බැඳුම්කර හිමියන් මිස IMF සංවිධානය නොවේ

"

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් දාලා නෑ....එහෙම නම් කාට බයේද මේක කරන්නේ? වෙලා තියෙන්නේ විදේශීය බැඳුම්කර හිමියන්-ඩොලර් මත තියෙන ස්වෛරී බැඳුම්කර හිමියන්-කොන්දේසියක් දාලා තියෙනවා මේ පැත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම්....ඒ වගේම දෙයක් දේශීය ණයවලටත් කරන්න ඕන

ඩේලි මිරර් යූ ටියුබ් නාලිකාව | ජූනි 27, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය තුළින් පා.ම. ගම්මන්පිල කරුණු දෙකක් ඉදිරිපත් කරයි. එනම්, 1) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF සංවිධානය) සමඟ ඇති කරගත් ගිවිසුම මගින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට කොන්දේසියක් පනවා නැති බවත්, 2) විදේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම සිදු කරන අයුරින්ම දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි කොන්දේසියක් පනවා ඇත්තේ විදෙස් බැඳුම්කර හිමියන් බවත් ඔහු පවසයි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් IMF සංවිධානය සමඟ එළැඹ ඇති මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට අයත් අභිප්‍රාය ප්‍රකාශ කරන ලද ලිපි (Letters of Intent), 2023 මාර්තු 6 නිකුත් කරන ලද IMF සංවිධානයේ කාර්ය මණ්ඩල වාර්තාවෙහි ඇතුළත් රාජ්‍ය ණය තිරසරාත්මකභාව විශ්ලේෂණය (Public Debt Sustainability Analysis) සහ 2023 ජූනි 28 දිනැති කැබිනට් පත්‍රිකා අංක MF/TO/006/CM/2023/154 පරිශීලනය කර ඇත.

පළමු කරුණ සම්බන්ධයෙන්: IMF සංවිධානය වෙත ලබා දී ඇති අභිප්‍රාය ප්‍රකාශ කරන ලද ලිපි ඔස්සේ රජය විසින් හෝ IMF සංවිධානයේ කොන්දේසි මගින් හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන බවට නිශ්චිත පොරොන්දුවක් ලබා දී නොමැත.

අභිප්‍රාය ප්‍රකාශ කරන ලද ලිපිවල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සඳහන් කර ඇති එකම කරුණ වන්නේ රජය “දේශීය ණය පිළිබඳ මෙහෙයුමක් සිදු කිරීම සඳහා ඇති විකල්පයන් සොයා බලා” 2023 අප්‍රේල් මස අවසන් වීමට පෙර ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන බවයි.

ණය සම්බන්ධයෙන් ගත හැකි පියවර සඳහා විස්තරාත්මක උදාහරණ ද රාජ්‍ය ණය තිරසරාත්මකභාව විශ්ලේෂණයට ඇතුළත් කර ඇති අතර ඉන් ඇතැමක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද යොදා ගෙන තිබේ. එහෙත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙහිදී ඉදිරිපත් කර ඇත්තේ විකල්පයක් වශයෙන් මිස ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සැලසුමක් ගොඩනැඟීමේදී පැනවෙන කොන්දේසියක් වශයෙන් නොවන බව මෙම නිදසුන් හඟවයි (වැඩිදුර තොරතුරු සදහා අතිරේක සටහන 1 බලන්න).

දෙවැනි කරුණ සම්බන්ධයෙන්: පා.ම. සඳහන් කළ දෙවැනි කරුණ 2023 ජූනි 28 දිනැති කැබිනට් පත්‍රිකාව මගින් තහවුරු වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු, “ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ට ගෙවිය යුතු විදේශ නීතිය යටතේ පවතින විදේශ මුදල් ණය (Foreign Law Foreign Currency Debt) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පූර්ව කොන්දේසියක්” ද වන බව එහි දක්වා තිබේ.

කැබිනට් පත්‍රිකාවේ අඩංගු කරුණු ඉදිරිපත් කර ඇති ආකාරයේ විශ්වසනීයත්වය පිළිබඳ යම් ගැටළුවක් තිබුණ ද (අතිරේක සටහන 2), පා.ම.ගේ ප්‍රකාශය එම පත්‍රිකාවේ ඇතුළත් රජයේ ප්‍රකාශයන් සහ රජය විසින් IMF සංවිධානය වෙත ලබා දෙන ලද අභිප්‍රාය ප්‍රකාශ කරන ලද ලිපි මත පදනම් වී ඇති බැවින් එම ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



Additional Note

අතිරේක සටහන 1: දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටීම IMF වැඩසටහනේ අවශ්‍යතාවයක් නොවුණ ද, එම වැඩසටහනට ඇතුළත් කර ඇති ණය තිරසරභාවය පිළිබඳ අනෙකුත් ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා එය අවශ්‍ය විය හැක: එනම්, 2027 සිට 2032 කාලය තුළ දළ මූල්‍යන අවශ්‍යතා (Gross Financing Needs) සාමාන්‍යයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ක මට්ටමක පවත්වා ගෙන යාම. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වීමට මෙය ද එක් හේතුවක් ලෙස 2023 ජූලි 7 වැනි දින මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ආයෝජක වාර්තාවෙහි දක්වා ති‌‌බේ. අතිරේක සටහන 2: යම්කිසි රටක් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම යනු එම රට වෙනුවෙන් එකඟ වී ඇති ණය තිරසරාත්මකභාව විශ්ලේෂණයක ඇතුළත් ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා යම් සාධාරණ ක්‍රමවේදයකට අවතීර්ණ වීමේ ක්‍රියාවලියකි. FactCheck.lk හි අවබෝධය වන්නේ එවැනි සාකච්ඡාවකදී කිසිදු පාර්ශවයකට අනිත් පාර්ශවය වෙත ඒකපාර්ශ්විකව කොන්දේසි පැනවිය නොහැකි බවයි. කැබිනට් පත්‍රිකාවෙහි ඇතුළත් පූර්ව කොන්දේසියක් පිළිබඳ කරුණ එවැනි සාකච්ඡා පවත්වන ආකාරය සම්බන්ධයෙන් පවතින මෙම අවබෝධයට පටහැනි වේ.


මූලාශ්‍රය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “ශ්‍රී ලංකාව: විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ වැඩපිළිවෙලක් සඳහා වූ ඉල්ලීම – මාධ්‍ය නිවේදනය; කාර්ය මණ්ඩල වාර්තාව; සහ ශ්‍රී ලංකාවේ විධායක අධ්‍යක්ෂකගේ ප්‍රකාශය”, 2023 මාර්තු 20, ප්‍රවේශය: https://www.imf.org/en/Publications/CR/Issues/2023/03/20/Sri-Lanka-Request-for-an-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-Press-531191

මුදල් අමාත්‍යාංශය, කැබිනට් පත්‍රිකාව , “ස්වෛරී ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම”, 28 ජූනි 2023, https://mcusercontent.com/7dec08f7f8b599c6b421dfd10/files-27888b289b-24ddd8 066425b/Cabinet_Memo.pdf.

මුදල් අමාත්‍යාංශය, දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ ආයෝජක වාර්තාව, 2023 ජූලි 7, ප්‍රවේශය: https://www.treasury.gov.lk/api/file/125879b7-87df-4d3f-961f-06e9dc0cf984

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.