රවුෆ් හකීම්

රටේ ආර්ථික පාලනය ගැන මන්ත්‍රී හකීම් එක අතකට හරි. අනෙක් අතට වැරදියි.

"

සැප්තැම්බර් මාසය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනය විනිශ්චය කිරීමේ ප්‍රයත්නයට භාජනය වන පළමු ආසියානු රට අපි වනු ඇත. […] මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවේදී පවා ආර්ථික අපරාධවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ගැන කතා කළා.

Manthri.lk | ජූලි 6, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. හකීම් සිය කතාව තුළින් කරුණු 2ක් මතු කර සිටී: එනම්, (1) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF සංවිධානයේ) පාලන විනිශ්චය කිරීමේ ප්‍රයත්නයට භාජනය වන ප්‍රථම ආසියාතික රට ශ්‍රී ලංකාව වන බව, සහ (2) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ඉතිහාසය තුළ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් “චෝදනා ලද” පළමු රට ශ්‍රී ලංකාව වන බව එම කරුණු 2 වේ.

මෙම ප්‍රකාශයේ ඇතුළත් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් IMF සංවිධානයේ වෙබ් අඩවිය, 2023 මැයි 15 වැනි දින IMF සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවත්වන ලද මාධ්‍ය හමුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යොජනා අංක 51/1, යොජනා අංක 43/27, යොජනා අංක 46/23, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2022 ඔක්තෝබර් මස නිකුත් කරන ලද වාර්තාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මීට අදාළ වන අනෙකුත් තොරතුරු පරිශීලනය කර ඇත.

පළමු කරුණ: IMF සංවිධානයේ වෙබ් අඩවියෙහි රටවල් කිහිපයකට අයත් පාලන විනිශ්චය කිරීමේ වාර්තා පළ කර ඇත. මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සැම්බියාව, කොංගෝ ජනරජය, සමක ගිනියාව, ගිනි බිසව්, මොසැම්බික්, මොල්ඩෝවා ජනරජය, පැරගුවේ සහ යුක්‍රේනය එම රටවල් වන අතර ඉන් කිසිවක් ආසියාතික රටවල් නොවේ. මාලි, බෙනින් සහ ගැම්බියාව එම වාර්තා ප්‍රකාශයට පත් කිරීමට නියමිත රටවල් ලෙස නම් කර ඇත. මීට අමතරව, IMF සංවිධානයේ පාලන විනිශ්චය ප්‍රයත්නයට භාජනය වූ පළමු ආසියාතික රට ශ්‍රී ලංකාව වන බව ඉහත සඳහන් කරන ලද මාධ්‍ය හමුවේදී IMF සංවිධානයේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින් ප්‍රකාශ කරන ලදි.

දෙවැනි කරුණ: “වංචා දූෂණ විමර්ශනය කිරීම මගින් සහ, අවශ්‍ය අවස්ථාවන්හිදී ඊට අදාළව නඩු පැවරීම මගින් (දැනට සේවයේ නියුතු සහ හිටපු රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන ලද වංචා දූෂණ ද ඇතුළත්ව) වත්මන් ආර්ථික අර්බුදයට පිළියම් සොයන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යොජනා අංක 51/1 හි සඳහන් වේ. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ද ප්‍රකාශ කරන්නේ, “දූෂණය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම ඇතුළු ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීම සඳහා වන මහජන ඉල්ලීමට නව පරිපාලනය ප්‍රතිචාර දක්වනු ඇතැයි බලාපොරොත්තු වන”බවයි. ආර්ථික අර්බුදයට සහ ඊට අදාළ ඕනෑම ‘ආර්ථික අපරාධයකට’වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව මෙන්ම වාර්තාව ද රජයෙන්  ‘ඉල්ලා සිටී’. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘වගවීම සඳහා වන ඉල්ලීම’, රජය ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ‘චෝදනාවට’ ලක්ව ඇති බවට පා.ම. පවසන මතයට අනුකූල වේ. (අතිරේක සටහන බලන්න).

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අතීත යෝජනාවන් තුළින් පෙනී යන්නේ 2020 ජුනි සහ 2021 මාර්තු මාසවලදී දූෂණය සහ ආර්ථික අපරාධවලට පිළියම් යොදන ලෙසට දකුණු සුඩාන රජයෙන් මීට පෙර එම කවුන්සිලය ඉල්ලා ඇති බවයි. දකුණු සුඩානයේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය යන මාතෘකාව යටතේ ඇති යෝජනා දෙකෙහි මෙලෙස සඳහන් කර තිබේ: “දූෂණය සහ ආර්ථික අපරාධ ඇතුළු දකුණු සුඩානයේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ අතීත සහ වත්මන් සොයාගැනීම් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස දකුණු සුඩාන රජයෙන් ඉල්ලා සිටී”. එබැවින්, මෙම තත්ත්වය යටතේ, පා.ම. ප්‍රකාශ කරන පරිදි, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිට ඇති පළමු රට ශ්‍රී ලංකාව නොවේ.

මේ අනුව, පා.ම. විසින් සඳහන් කරන ලද පළමු කරුණ නිවැරදි නමුත් දෙවැන්න අතිශයෝක්තියකි. එබැවින්, සමස්තයක් වශයෙන්, අපි ඔහුගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 



Additional Note

අතිරේක සටහන පා.ම. හකීම් විසින් භාවිතා කරන ලද “චෝදනා ලත්” යන යෙදුම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදු කර ඇති ප්‍රකාශයෙහි නීතිමය නොවන අර්ථකථනයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නෛතික වශයෙන් යම් රටකට අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නොහැකි වීම ඊට හේතුවයි. Black's Law Dictionary නම් නීති ශබ්දකෝෂය 'චෝදනාව' යන යෙදුම මෙලෙස නිර්වචනය කරයි: "කිසියම් අපාරධයක් නැතිනම් දඬුවම් ලැබිය වරදක් විභාග කිරීමේ බලය ඇති අධිකරණයක් හෝ මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ එම අපරාධය සම්බන්ධයෙන් වරදකරුවකු වන බවට යම් පුද්ගලයෙකුට එරෙහිව විධිමත් ලෙස චෝදනාවක් ගොනු කිරීම."


මූලාශ්‍රය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පාලනය සහ දූෂණ විරෝධී පියවර: https://www.imf.org/en/Topics/governance-and-anti-corruption.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “ශ්‍රී ලංකාවට අදාළ ආරම්භක ප්‍රකාශයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුව”, 2023 මැයි 15, ප්‍රවේශය: https://www.imf.org/en/News/Articles/2023/05/15/sp051523-lka-opening-remarks-by-krishna-srinivasan.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය, A/HRC/51/5: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ විස්තීරණ වාර්තාව, 2022 ඔක්තෝබර් 04, ප්‍රවේශය: https://www. ohchr.org/en/documents/reports/ahrc515-situation-human-rights-sri-lanka-comprehensive-report-united-nations-high.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යොජනා අංක 51/1.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යොජනා අංක 43/27.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යොජනා අංක 46/23.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.