රනිල් වික්‍රමසිංහ

ජංගම ගිණුමේ අතිරික්තය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරියට හරි

"

2022 අවසානයේ ගෙවුම් ශේෂවේ ජංගම ගිණුමේ හිඟය ද.දේ.නි. න් 1.9% ක්. ගිය අවසර අවසානයේ එය අතිරික්තයක් ඇති කර ගැනීමට අපිට පුළුවන් වුණා. 1977 න් පසුව එවැනි අතිරික්තයක් ඇති කරගත් මුල්ම අවස්ථාව මෙයයි.

පාර්ලිමේන්තුවේදී ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය | පෙබරවාරි 7, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම සම්බන්ධයෙන් කරුණු දෙකක් සඳහන් කළේය. එනම්, (අ) 2022 දී ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් (ද.දේ.නි) 1.9% ක් වූ බවත්, (ආ) 1977 න් පසු පළමු වතාවට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූයේ 2023 දී බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව සහ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් 2023 දෙසැම්බර් මාසය සඳහා අදාළ මහ බැංකුවේ මාධ්‍ය නිවේදනය පරිශීලනය කරන ලදි.

භාණ්ඩ හා සේවා වෙළඳාම, ආදායම් සංචලනය සහ අනෙකුත් අරමුදල් මාරු කිරීම්වලට (ප්‍රාග්ධන මාරුකීරම හැර) අදාළව රට තුළට සහ ඉන් පිටතට ගලා යන මුදල් ප්‍රමාණයේ වෙනස ජංගම ගිණුමේ ශේෂය මගින් පිළිබිඹු කෙරේ. ඉහත සඳහන් මාර්ග ඔස්සේ රට තුළට ලැබෙන මුදල් ප්‍රමාණය රටින් පිට වන මුදල් ප්‍රමාණයට වඩා වැඩි වූ විට ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති වේ.

ඉහත (අ) කරුණ සැලකූ විට, 2022 සඳහා සැබවින්ම වාර්තා වූ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.9% වූ බව මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි සඳහන්ව ඇති අතර එය ජනාධිපතිවරයා උපුටා දැක්වූ සංඛ්‍යාලේඛන හා සැසඳේ.

(ආ) කරුණ සැලකූ විට, 2023 සඳහා ජංගම ගිණුමේ නිශ්චිත ශේෂය තවමත් ප්‍රකාශයට පත් කර නැතත්, වෙළඳ ශේෂය, සංචාරක ව්‍යාපාරයේඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ ඇතුළුව ජංගම ගිණුමේ ප්‍රධාන කොටස් සඳහා අදාළ සංඛ්‍යාලේඛන පළ කර තිබේ. 2022 දී ජංගම ගිණුමේ ශේෂයඑ.ජ.ඩොලර් මිලියන 1,453 ක හිඟයක් වාර්තා කළේය. 2023 දී, ඉහත නම් කර ඇති ජංගම ගිණුමේ ප්‍රධාන කොටස් අංක 1 වගුවෙහි පෙන්වා ඇති පරිදි එ.ජ.ඩොලර් මිලියන 3,398 කින්– එනම්, හිඟයට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණයකින් – ඉහළ ගොස් ඇත. 2023 සඳහා ජංගම ගිණුමේ ශේෂයේ අතිරික්තයක් පවතින බව මෙය හඟවයි.

1977 න් පසුව ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා නොවූ බව මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයේ අතීත දත්ත පෙන්නුම් කරයි. 1977 වර්ෂයේ එලෙස වාර්තා වූ ජංගම ගිණුම් ශේෂයේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක් විය (අංක 1 ප්‍රස්තාරයබලන්න). මෙය මීට පෙර වාර්තා වූ දරුණුතම ආර්ථික අර්බුදය පැවති වසරට පසුව එළැඹි වසර වේ – අතිරේක සටහන 1 බලන්න.

එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන 1: ශ්‍රී ලංකාවේ 1977 ට පෙර වසර හයක කාලපරිච්ඡේදය තුළ ද වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට සමාන වෙනස්වීම් කිහිපයක් දක්නට ලැබිණි: නිදහසින් පසු 1970 දශකය දක්වා කාලය තුළ පෙන්නුම් කළ 4% ක සාමාන්‍ය වර්ධනයට සාපේක්ෂව ශ්‍රී ලංකාව 2.7% ක අඩුම සාමාන්‍ය මූර්ත දළ දේශීය නිෂ්පාදිතයක් එම කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව වාර්තා කළේය. එමෙන්ම, ශ්‍රී ලංකාව සහල්, තිරිඟු පිටි සහ සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආනයනික ආහාරවල බරපතල හිඟයකට ද මුහුණ දුන්නේය.

අතිරේක සටහන 2: ජනාධිපතිවරයා සිදු කළ කතාව සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති පිටපතට අනුව ජනාධිපතිවරයා “ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය” යනුවෙන් සඳහන් කර ඇති නමුත් එම වෙබ් අඩවියේම පළ කර ඇති එම කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය තුළ එය “ගෙවීම් ශේෂය” ලෙස නිවැරදි නොවන අයුරින් පරිවර්තනය කර ඇත.

අංක 1 වගුව: 2022 සහ 2023 සම්පූර්ණ වර්ෂයන් සඳහා ගෙවීම් ශේෂයේ සංරචක

අංක 1 ප්‍රස්තාරය: ජංගම ගිණුම් ශේෂයේ සංරචක (දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස), 1959 සිට 2023 දක්වා



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව. “සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය.” වාර්ෂික වාර්තාව 2022 . 2022, https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2022/en/16_S_Appendix.pdf[අවසන් වරට ප්‍රවේශය: 2023 මාර්තු 11].

ශ්‍රී ලංකා මහ බැංකුව. “මාධ්‍ය නිවේදනය: විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – දෙසැම්බර් 2023.” 2024 ජනවාරි 31, https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20240131_external_sector_performance_2023_december_e.pdf[අවසන් වරට ප්‍රවේශය: මාර්තු 2023].

බාලක්‍රිෂ්ණන්, එන්. (1975). Sri Lanka in 1974: Battle for Economic Survival (1974 දී ශ්‍රී ලංකාව: ආර්ථික පැවැත්ම සඳහා වූ සටන). Asian Survey , 15 (2), 102–109. https://doi.org/10.2307/2643320

විජේවර්ධන, ඩබ්ලිව්.ඒ. ” Sri Lanka’s economy at crossroads: The 1972-76 Five-Year Plan and its diagnosis of economic ailments (ශ්‍රී ලංකාවේ ආර්ථිකය සන්ධිස්ථානයක: 1972-76 පස් අවුරුදු සැලැස්ම සහ එහි ආර්ථික ගැටළු විනිශ්චය)” ඩේලි FT, 10 දෙසැම්බර් 2018, https://www.ft.lk/columns/Sri-Lanka-s-economy-at-crossroads-The-1972-76-Five-Year-Plan-and-its-diagnosis-of -ආර්ථික-රෝග/4-668469 .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.