ෂෙහාන් සේමසිංහ

රාජ්‍ය අමාත්‍ය සේමසිංහට විදේශ විනිමය අර්බුදයේ ප්‍රධාන හේතුව මගහැරේ

"

මෙරටේ 2022 අවුරුද්දේ, බරපතලම විදේශ විනිමය අර්බුදයට අපි යද්දි, එකේ ප්‍රධාන එක සාධකයක් වුණේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ [අඩු වීම]. ඊළඟට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපැයීම් [අඩු වීම].

පාර්ලිමේන්තුව | නොවැම්බර් 21, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

(අ) “විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු ප්‍රේෂණ [අඩු වීම]” සහ (ආ) “සංචාරක ව්‍යාපාරයේ ආදායම [අඩු වීම]”, 2022 ශ්‍රී ලංකාවේ උද්ගත වූ “විදේශ විනිමය අර්බුදයට” දායක වූ “ප්‍රධාන සාධක” දෙකක් බව 2024 අයවැයේ කාරක සභා අවස්ථා විවාදයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2017 සිට 2022 දක්වා වූ කාලසීමාවට අදාළ මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා පරිශීලනය කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණ සඳහන් කිරීමේදි අදහස් කර ඇත්තේ විදේශ විනිමය ද්‍රවශීලතා අර්බුදය බව FactCheck.lk විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. යම්කිසි රටකින් පිටතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය පියවීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොමැති වූ විට (විදේශ විනිමය ලැබීම් හෝ විදේශ මුදල් සංචිතවල අතිරික්තයක් වශයෙන්) මෙලෙස විදේශ විනිමය ද්‍රවශීලතා අර්බුද පැන නඟී.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබීමේ ප්‍රධාන මාර්ග අතරට විදේශ ණය ලබා ගැනීම, අපනයන ආදායම, විදේශ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයේ ආදායම ඇතුළත් වේ. විදේශ මුදල් පිටතට ගලා යාම ප්‍රධාන වශයෙන් විදේශ ණය ආපසු ගෙවීම සහ ආනයන වියදම් ඔස්සේ සිදු වේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇගයීම සඳහා FactCheck.lk විසින් විදේශ මුදල් අර්බුදය පැවති කාල වකවානුවේදී (2020-2022 -එනම්, කොවිඩ්-19 සහ ආර්ථික අර්බුදය පැවති කාලසීමාව) සහ ඒ හා සමාන වර්ෂ සංඛ්‍යාවක් ඇතුළත් ඊට පෙර කාලවකවානුකදී (2017-2019) මෙරටට ලැබුණු විදේශ මුදල් සහ රටින් පිටවූ විදේශ මුදල් අතර වෙනස සංසන්දනය කරන ලදි. විදේශ මුදල් ද්‍රවශීලතා අර්බුදයක් මතු වන ලෙස විදේශ මුදල් ප්‍රවාහයන් වෙනස් වූ අයුරු අංක 1 වගුව මගින් ඉස්මතු කෙරේ. අර්බුදය පැවති කාලපරිච්ඡේදය තුළ වෙළඳ ශේෂය වඩා යහපත් අතට හැරුණු බැවින් (එනම්, වෙළඳ හිඟය අඩු වීම) එය අර්බුදය‌ට හේතුවක් ලෙස මෙහිදී දක්වා නොමැත.

විදේශ විනිමය ද්‍රවශීලතා අර්බුදයට බලපෑ සාධක තනි තනිව ගත් කළ ඊට හේතු වූ විශාලතම සාධකය වූයේ මෙරටට ලැබුණු ශුද්ධවිදේශ ණය ප්‍රමාණය අඩු වීම බව (මෙරටට ලැබුණු විදේශ ණය ප්‍රමාණය සහ ගෙවීමට නියමිතව තිබූ නමුත් 2022 පැවති අර්බුදය හේතුවෙන් ගෙවීම පැහැර හරින ලද ණය ද ඇතුළුව විදේශ ණය මත සිදු කළ ආපසු ගෙවීම් අතර වෙනස) අංක 1 වගුව පෙන්වා දෙයි. සංචාරක ව්‍යාපාරයේ ආදායම, විදේශ ප්‍රේෂණ සහ මෙරටට ලැබුණු ශුද්ධ විදේශ ණය ප්‍රමාණය යන සාධක අඩු වීමෙන් ඇති වූ සමස්ත බලපෑම සලකා බැලීමේදී, ඉහත දැක්වූ තුන්වැනි සාධකය අර්බුදය පැන නැඟීමට වැඩි වශයෙන්ම දායක වී ඇති බව පෙනී යයි. එනම්, විදේශ මුදල් ද්‍රවශීලතාවයේ සිදු වූ සමස්ත අඩුවීමෙන් 49% ක් අඩු වී ඇත්තේ මෙරටට ලැබුණු ශුද්ධ විදේශ ණය ප්‍රමාණය අඩු වීම හේතුවෙනි .

විදේශ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයේ ආදායම අඩුවීම 2022 පැන නැඟුනු විදේශ විනිමය ද්‍රවශීලතා අර්බුදයට සැලකිය යුතු ලෙසින් දායක වූ සාධක දෙකක් වූ අතර (එනම්, එම කාලසීමාව තුළ එම සාධක හේතුවෙන් අඩු වූ විදේශ විනිමය ප්‍රමාණය, අඩු වූ මුළු විදේශ විනිමය ප්‍රමාණයෙන් පිළිවෙලින් 16% ක් 35% ක් විය) එමගින් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා නිවැරදි වේ. කෙසේ වෙතත්, තනි සාධක වශයෙන් ගත් කළ විදේශ මුදල් ද්‍රවශීලතා අර්බුදයට හේතු වූ ප්‍රධානතම සාධකය වන මෙරටට ලැබුණු ශුද්ධ විදේශ ණය ප්‍රමාණය අඩු වීම (අඩු වූ මුළු විදේශ විනිමය ප්‍රමාණයෙන් 49% ට හේතු වූ) රාජ්‍ය අමාත්‍යවරයා මග හැර ඇති අතර එම නිසා ඔහු විසින් අර්බුදයට හේතු වූ කරුණු නිවැරදිව හඳුනා නොගෙන ඇත.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

අංක 1 වගුව: 2017-19 සහ 2020-22 අතර විදේශ මුදල් ප්‍රවාහයේ වෙනස්වීම් (එ.ජ.ඩොලර් මිලියන)

*සටහන: ණය ආපසු ගෙවිම් ගණනය කිරීමේදී විදේශ ණය ආපසු ගෙවීම් සඳහා මුල් මුදල මෙන්ම පොලිය ද ඇතුළත් වේ. 2022 මුළු විදේශ ණය ආපසු ගෙවීම්වලට 2022 අප්‍රේල් මාසයේදී විදේශ ණය සේවාව අත්හිටුවීම හේතුවෙන් නොපියවූ නමුත් පියවීමට නියමිතව තිබූ ගෙවීම් ද ඇතුළත් වේ.

අතිරේක සටහන 1 – 2020-2022 කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩු වීමට හේතු ලෙස එවක පැවති රජයේ ප්‍රතිපත්ති–විශේෂයෙන්ම 2021 අග භාගයේදී එ.ජ.ඩොලරයක මිල රුපියල් 200 කට ආසන්න වන සේ විනිමය අනුපාතිකය කෘත්‍රිමව පවත්වා ගෙන යාම–දැක්විය හැක. ඒ හේතුවෙන්, නිල බැංකු මාර්ගයෙන් ලබා දෙනු ලබන නිල වෙළඳපොළ අනුපාතිකයට වඩා අවම වශයෙන් 20% වැඩි අනුපාත ලබා දෙන, “අළු වෙළඳපොලක්” මුදල් හුවමාරුව සඳහා බිහි විය. මෙමගින් ශ්‍රී ලංකාව වෙත විදේශ ප්‍රේෂණ බැර කිරීම අධෛර්යමත් කරන ලද එම ප්‍රේෂණ නිල මාර්ගවලින් ඉවතට යොමු කර ඇත. මේ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් පළ කරන ලද පහත ලිපියෙහි ඇතුළත් කර ඇත .



මූලාශ්‍රය

සතිපතා ආර්ථික දර්ශක, ශ්‍රී ලංකා මහ බැංකුව, අප්‍රේල් 2022. https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20220401_e.pdf

වාර්ෂික වාර්තා (2017 – 2022), මුදල් අමාත්‍යාංශය, https://www.treasury.gov.lk/web/annual-reports

වාර්ෂික වාර්තා (2017 – 2022), ශ්‍රී ලංකා මහ බැංකුව, https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.