අශෝක් අබේසිංහ

දත්ත වැරදි වුනත් මන්ත්‍රී අබේසිංහ රට යන අය ගැන කියන කතාව හරි

"

දිනකට අපේ රටින් පන්සියයක් විදෙස්ගත වෙනවා. පසුගිය කාලයේ මාසයකට පුද්ගලයින් 180,000ත් 200,000ත් අතර සංඛ්‍යාවක් විදෙස්ගත වී තිබෙනවා. මේ අය විදෙස්ගත වන්නේ මේ රටේ ජීවත් වීම අපහසු නිසා.

දිනමිණ | දෙසැම්බර් 21, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

රට තුළ පවතින අභියෝගාත්මක ජීවන තත්ත්වයන් හමුවේ විදේශගත වන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් පා.ම. අශෝක් අබේසිංහ විසින් ඉහත ප්‍රකාශය සිදු කරන ලදි. දිනකට පුද්ගලයින් 500 ක් ද, මසකට පුද්ගලයින් 180,000 ත් 200,000 ත්අතර සංඛ්‍යාවක් ද විදේශගත වන බව ඔහු එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා පවසයි. ඔහු සිදු කළ ප්‍රකාශයේ සන්දර්භය සැලකීමේදී, “විදේශගත වන්නන්” යනුවෙන් මෙහිදී පා.ම. හඳුන්වා ඇත්තේ රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින් බවට FactCheck.lk අර්ථකථනය කර ඇත.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (Central Bank of Sri Lanka) ආර්ථික දත්ත පුස්තකාලය සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණයෙහි කාර්තුමය විවරණිකාව (Quarterly Bulletin Reports on Worker Remittances and Labour Migration) පරිශීිලනය කරන ලදි.

විදේශ රැකියා සඳහා පිටත්ව යාම සම්බන්ධයෙන් පළ කර ඇති වඩාත්ම යාවත්කාලීන දත්ත 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයක කාලය සඳහා අදාළ වේ. විදේශ රැකියා සඳහා සාමාන්‍යයක් ලෙස දිනකට පුද්ගලයින් 824 ක් රටින් පිටවූ බව එම දත්ත පෙන්වා දෙයි. මෙම සංඛ්‍යාව පා.ම. සඳහන් කළ සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙස වැඩි වේ.

මසකට පුද්ගලයින් 180,000 ක සංඛ්‍යාවක් විදෙස්ගත වන බව පා.ම. සඳහන් කළ ද, ඔහු සඳහන් කළ අයුරින් දිනකට 500 ක් රටින් පිට වන බවට වූ  ඇස්තමේන්තුව සැලකූ විට 180,000 ක සංඛ්‍යාවක් වාර්තා වනුයේ වසරක කාලයක් සඳහා ය. ඒ අනුව, එම සංඛ්‍යාව උපුටා දැක්වීමේදී පා.ම. වසරක් තුළ විදෙස්ගත වන සංඛ්‍යාව අදහස් කර ඇති බවත්, වැරදීමකින් එය මසකට අදාළ සංඛ්‍යාව ලෙස හඳුන්වන්නට ඇති බවත් FactCheck.lk මෙහිදී උපකල්පනය කර ඇත. යටකී මාස නවයේ සාමාන්‍යය අනුව වසරකට විදෙස්ගත වන පුද්ගලයින්ගේ සාමාන්‍යය ගණනය කළ විට 300,767 ක සංඛ්‍යාවක් ලැබෙන අතර මෙය පා.ම. උපුටා දැක්වූ 180,000 – 200,000 ට වඩා බෙහෙවින් වැඩි අගයකි.

සාරාංශයක් ලෙස, සමස්තයක් වශයෙන් පා.ම.ගේ ප්‍රකාශය තුළින් අදහස් වන්නේ විදේශ රැකියා සඳහා රටින් පිටව යන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී ඇති බවයි. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා පා.ම. විසින් උපුටා දක්වන ලද සංඛ්‍යා (දෛනික පිටත්වීම් 500) ආසන්න වන්නේ කොවිඩ් වසංගතය නොපැවති වසරවල වාර්තා වූ අඩුම පිටත්වීිම් සංඛ්‍යාවලට සමාන වේ—එනම්, 2019 දී දෛනික පිටත්වීම්වල සාමාන්‍යය 556ක් විය (අංක 1 වගුව බලන්න). මීට සාපේක්ෂව, වර්තමානයේ වාර්තා වනදෛනික පිටත්වීම් සංඛ්‍යාවන් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගයන් අතර පවතී (මීට පෙර 2014 සහ 2022 දී පමණක් වාර්තා වූ සංඛ්‍යාා). රැකියා සඳහා විදෙස්ගත වීම අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින්නේ යැයි අදහස් කරමින් පා.ම. සිදු කළ ප්‍රකාශය ඔහු විසින් උපුටා දැක්වූ නිවැරදි නොවන සංඛ්‍යා මගින් තහවුරු නොවුණ ද, සත්‍ය දත්ත මගින් මෙම කරුණ සනාථ කරනු ලැබේ.

එබැවින්, ඔහු සඳහන් කළ ප්‍රකාශය පසුපස ඇති අදහස සැලකිල්ලට ගනිමින් අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: රැකියා සඳහා විදෙස්ගත වීම (2010 – 2022)

මූලාශ්‍රය: https://www.cbsl.lk/eresearch/

අංක 2 වගුව: රැකියා සඳහා විදෙස්ගත වීම ( කාර්තුමය වශයෙන්: ජනවාරි, ජූනි සහ සැප්තැම්බර් )

මූලාශ්‍රය: කම්කරුවන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණයෙහි කාර්තුමය විවරණිකාව (මහ බැංකුව)



මූලාශ්‍රය

ආර්ථික දත්ත පුස්තකාලය, ශ්‍රී ලංකා මහ බැංකුව. https://www.cbsl.lk/eresearch/

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණයෙහි කාර්තුමය විවරණිකාව (මාර්තු) (https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/workers_remittances_and_labour_migration_bulletin_2023_q1_e.pdf

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණයෙහි කාර්තුමය විවරණිකාව (ජූනි) https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/workers_remittances_and_labour_migration_bulletin_2023_q2_e.pdf

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්‍රමණයෙහි කාර්තුමය විවරණිකාව (සැප්තැම්බර්) https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/workers_remittances_and_labour_migration_bulletin_2023_q3_e.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.