විජිත හේරත්

පා.ම. විජිත හේරත් ජනාධිපතිගේ අයවැය වැඩි කර කියයි

"

මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙද්දිත් වියදම් කපා හරිනවා කියලා දිගින් දිගටම ආණ්ඩුව කිව්වත් ජනාධිපති වැය ශීර්ෂය...3779 ක් කරලා තියෙන්නෙ...මේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු අනෙකුත් අයට වියදම් කරන මුදල් ප්‍රමාණය ගත්තොත්...ජනාධිපතිවරයා යටතේ අමාත්‍යාංශ හතක් තියෙනවා, කෝටි හතලක්ෂ අසූ දෙදහස් හයසිය අසූ හතරක

පාර්ලිමේන්තුව | නොවැම්බර් 22, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. විජිත හේරත් විසින් ජනාධිපතිවරයාට අදාළ වියදම් ප්‍රතිපාදන පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරුණු දෙකක් සඳහන් කරන ලදි. එනම්, (1) ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය (රාජ්‍ය නායකයා ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා වියදම) නම් වූ අයවැය අයිතමය රුපියල් මිලියන 3,779 දක්වා වැඩි වී ඇති බවත්, (2) ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ සඳහා සමස්ත අයවැය වියදමෙන් 66.7%ක් වෙන් කර ඇති බවත් ඔහු පැවසීය.

 

පා.ම. සඳහන් කළ කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2024 සඳහා වන අයවැය ඇස්තමේන්තු කෙටුම්පත (පා.ම. ඉහත ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී එය පළ කර තිබිණ), ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව මෙන්ම අමාත්‍යවරුන් යටතේ ඇති අමාත්‍යාංශ නිශ්චය කරීම සඳහා අංක 2304/58 දරන ගැසට් පත්‍රය ද පරිශීලනය කරන ලදි.

   

පළමු කරුණ: ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ පුනරාවර්තන (මූලධන වියදම නොවන) සංරචකය 2024 වසර සඳහා රුපියල් මිලියන 2,812 සිට (2023 දී) සිට රුපියල් මිලියන 3,779 දක්වා වැඩි වී ඇති බව අයවැය ඇස්තමේන්තු කෙටුම්පත අනුව පෙනී යයි. එය වැඩි වශයෙන් ඉහළ ගොස් ඇත්තේ පුද්ගල පඩිනඩි සහ උපයෝගිතා සේවා සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කර තිබීම හේතුවෙනි. අයවැයේ මූලධන වියදම් සංරචකයේ වෙනසක් නැති තරම්ය.

 

දෙවැනි කරුණ: අයවැයේ සඳහන් මුළු වියදම රුපියල් බිලියන 6,558.44 ක් වන අතර, ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ සඳහා රුපියල් බිලියන 3,859.97 ක් වෙන් කර ඇත. පා.ම. විසින් උපුටා දක්වන ලද වඩා ඉහළ අගය බොහෝ විට ගණනය කර ඇත්තේ රුපියල් බිලියන 1,268.39 ක් වන ආපසු ගෙවිය යුතු ණය මුල් මුදල (මුදල් අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන) වියදමට එකතු කිරීමෙන් විය හැක. කෙසේ වෙතත්, ණය මුල් මුදලේආපසු ගෙවීම් රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව වියදම් ලෙස වර්ගීකරණය කර නොමැත (අතිරේක සටහන බලන්න). එබැවින් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇත්තේ අයවැයේ මුළු වියදමින් 58.9%ක් මිස පා.ම. සඳහන් කර ඇති පරිදි 66.7% ක්නොවේ. කෙසේ වෙතත්, අයවැයේ දක්වා ඇති වියදමින් 40.4% ක් ණය මත පොලී ගෙවීම සඳහා වෙන් කර තිබේ. ඉන් පරිබාහිරව ජනාධිපතිවරයා යටතේ ඇත්තේ අයවැය වියදම්වලින් 18.4%ක් පමණි.

 

අමාත්‍යාංශ හතක් ජනාධිපතිවරයා යටතේ පවතින බව සඳහන් කිරීමට අදාළව ද පා.ම.ගේ ප්‍රකාශය නිවැරදි නොවේ. අමාත්‍යාංශ 28 ක් තිබෙන බවත්, ජනාධිපතිවරයා යටතේ ඇත්තේ ඉන් අමාත්‍යාංශ පහක් පමණක් බවත් අංක 2304/58 දරන ගැසට් පත්‍රය සහ 2023 නොවැම්බර් 22 දිනැති පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව (පා.ම. මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී මෙම ලේඛන පළ කර තිබිණි) පෙන්නුම් කරයි.

 

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවල (මුළු වියදම සඳහා නොවේ) වැඩි වීම සමඟ පා.ම. උපුටා දැක්වූ සංඛ්‍යාව සමපාත වේ. කෙසේ වෙතත්, මුළු වියදමින් කොපමණ ප්‍රමාණයක් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවලට බෙදී යන්නේ ද යන්න අර්ථකථනය කිරීමේදී ඔහු අතින් සැලකිය යුතු දෝෂයක් සිදුව ඇති අතර ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඔහු වැඩි කොට දක්වයි.

 

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

 

අතිරේක සටහන 1: වියදම යනු කුමක් ද යන්න අර්ථකථනය කිරීමේදී සිදු කෙරෙන මෙම දෝෂය 2021 දෙසැම්බර් මාසයේ FactCheck.lk විසින් රාජපක්ෂ අයවැය තක්සේරු කිරීමේදී පා.ම. අනුර කුමාර නිවැරදි නොවන වර්ගීකරණයක නමින් පළ කර ඇැති කරුණු පිරික්සීම මගින් ද මීට ඉහතදී ඉස්මතු කර ඇත . 



මූලාශ්‍රය

2024 සඳහා වන අයවැය ඇස්තමේන්තු කෙටුම්පත, 1 වෙළුම, 2023 නොවැම්බර්, මුදල් අමාත්‍යාංශය  

2024 සඳහා අනුමත අයවැය ඇස්තමේන්තුව, වෙළුම 1, දෙසැම්බර් 2023, මුදල් අමාත්‍යාංශය   

රාජපක්ෂ අයවැය තක්සේරු කිරීමේදී පා.ම. අනුර කුමාර නිවැරදි නොවන වර්ගීකරණයක, 2021 දෙසැම්බර්, FactCheck.lk  

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය, අංක 2304/58, 2023 නොවැම්බර් 4, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව (යොමුව: 2304-58_E.pdf (documents.gov.lk) )

හැන්සාඩ් වාර්තාව, 2023 නොවැම්බර් 22 , ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (යොමුව: 1704260841006732.pdf (parliament.lk)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.