නාමල් රාජපක්ෂ

කොවිඩ්-19 කළමනාකරණය පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ – ජය කණුවට තව දුරය

"

දකුණු ආසියානු කලාපයේ මේ වසංගතය පාලනය කළ සාර්ථකම රට ශ්‍රී ලංකාවයි.

මව්බිම | ජූලි 12, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය ඇගැයීමේදී , රටවල් අතර සංසන්දනයක් සිදු කිරීම සඳහා FactCheck.lk මඟින් Our World in Data (OWID) වෙබ් අඩවියේ ඇති කොවිඩ්-19 සම්බන්ධයෙන් පවතින සංඛ්‍යාලේඛන විශේෂයෙන්ම පරිශීලනය කොට ඇත (2021 ජූලි 10 දින දක්වා). කෝවිඩ්-19 කළමනාකරණයට අදාළ සාර්ථකත්වය මැනීම සඳහා තමන් විසින් භාවිතා වූ නිර්ණායක විධික්‍රම මෙහිදී අමාත්‍යවරයා දක්වා නැත. නමුත්, FactCheck.lk මඟින් නිර්ණායක තුනක් ඔස්සේ මෙම ප්‍රකාශය ඇගයුම් කර බලා තිබේ. එම උපමානයන් නම්: (1) ජනගහනයෙන් සෑම මිලියනයකටම සිදු වී ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව, (2) ජනගහනයෙන් සෑම දහසකටම සිදු කර ඇති කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාව හා ඒ ඔස්සේ ආසාදිත බවට සොයා ගැනුණු සංඛ්‍යාව, සහ (3) ජනගහනයෙන් කොවිඩ්-19 සඳහා එන්නත්කරණය කොට ඇති ප්‍රතිශතයයි.

1 වෙනි නිර්ණායකය: ශ්‍රී ලංකාවට අදාළව සෑම මිලියනයකටම වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 161.9 ක් වන අතර, එය ඇෆ්ගනිස්ථානයට (142.9), බංග්ලාදේශයට (98.3), භූතානයට (1.3) සහ පකිස්තානයට (102.2) වඩා ඉහළ අගයක් පෙන්නුම් කරයි.

2 වෙනි නිර්ණායකය: ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සඳහා සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව ජනගහනයෙන් සෑම දහසකටම 195.5 ක් වන අතර, එය ඉන්දියාවට (310.9) සහ මාලදිවයිනට (1,989.9) වඩා අඩු අගයක් ගනී. එනමුත්, ශ්‍රී ලංකාවේ ආසාදිත බවට සොයා ගැනුණු අනුපාතය 0.119 ක් වන අතර, එය ඉන්දියාවට (0.023) සහ මාලදිවයිනට (0.022) වඩා ඉහළ අගයක් ගෙන ඇත.

3 වෙනි නිර්ණායකය: කොවිඩ්-19ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව ගත් විට ශ්‍රී ලංකාව සඳහා එය පුද්ගලයින් සියයකට 6.4 ක් ලෙසින් වාර්තා වන අතර, එම අනුපාතය දෙවැනි වන්නේ මාලදිවයිනට (40.88) පමණි. කෙසේ නමුත්, අඩු තරමින් කොවිඩ්-19ට එරෙහි එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව සැලකූ විට ශ්‍රී ලංකාව සඳහා එය පුද්ගලයින් සියයකට 17.53 ක් ලෙසින් වාර්තා වන අතර, ඊට අදාළවද ශ්‍රී ලංකාව මාලදිවයිනට (58.86) මෙන්ම ඉන්දියාවටද (21.97) පසුපසින් සිටී.

මෙම ඇගැයීම සිදුවන මොහොතේදී ලබා ගැනීමට තිබූ දත්තවලට අනුව, ශ්‍රී ලංකාව එම නිර්ණායක තුනේදීම දකුණු ආසියාවේ හොඳම ප්‍රතිඵල නොපෙන්වයි. එමෙන්ම, එම නිර්ණායකයන් දෙකක් සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවට සහ මාලදිවයිනට පසුපසින් සිටී. ඒ අනුව, අමාත්‍ය නාමල් රාජපක්ෂගේ එම ප්‍රකාශය නිවැරදි නොවේ යැයි පැවසීමට සිදුවේ.

සටහන: මෑතකදී ශ්‍රී ලංකාවට සිය කොවිඩ්-19 එන්නත්කරණ ක්‍රියාදාමයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට හැකියාව ලැබිණි. ජූලි 10 සිට ජූලි 20 දක්වා කාලය අතරතුර, ශ්‍රී ලංකාව පවත්වා ගෙන ගොස් තිබූ කෝවිඩ් – 19 එන්නත්කරණ වේගයේ සාමාන්‍යය, දිනකට එන්නත්කරණයන් 243,379 ක් විය.  වෙරිටේ රිසර්ච්හි (www.veriteresearch.org) FactCheck.lk මඟින් කොවිඩ්-19 එන්නත්කරණය පිළිබඳව පවත්වා ගෙන යන ලකුණු පුවරුව මඟින් පෙන්වා දෙන්නේ, මෙම එන්නත්කරණ වේගය දිගටම පවත්වා ගතහොත්, 2021 ඔක්තෝබර් 18 වන විට වයස අවුරුදු 20 ට වැඩි සියලු දෙනාවම පූර්ණ වශයෙන් කොවිඩ්-19 සඳහා එන්නත්කරණය කිරීම ශ්‍රී ලංකාවට සිදුකළ හැකි බවයි.

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

Our World in Data වෙබ් අඩවිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.