හරිනි අමරසූරිය

කාන්තාවන් වැඩිපුර වැඩ කිරීම ගැන පා.ම හරිනි අමරසූරිය හරි

"

ඔය ශ්‍රම බලකායේ දායකත්වය මනින කොට සැලකීමට ගන්නේ නැති කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කාන්තාවන් විසින් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටස මේ සංඛ්‍යාලේඛනවලට කිසිසේත් ගණන් ගන්නේ නෑ.

ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව එහි නිල ෆේස්බුක් පිටුව | ජූලි 16, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය අඩු මට්ටමක පැවතීම ගැන පා.ම කරුණු තුනක් ඉදිරිපත් කරයි. එනම්, (1), ශ්‍රම බලකායට ලබා දෙන දායකත්වයට අදාළ නිල සංඛ්‍යාලේඛන වැටුප් නොලබන ශ්‍රමය සැලකිල්ලට නොගන්නා බැවින් කාන්තාවන් විසින් දායක කෙරෙන ශ්‍රමය එමගින් අඩු කොට දැක්වෙන බවත්, (2) වැටුප් නොලබන සුරැකුම් කටයුතු අතුරින් 60% ක් පමණ සිදු කරන්නේ කාන්තාවන් බවත්, (3) දැනුදු, පිරිමින් දිනකට වැඩ කරන පැය ගණනට (පැය 9) වඩා වැඩි පැය ගණනක් කාන්තාවන් (පැය 14) වැඩ කරන බවත් ඇය පවසයි .

පා.ම. ගේ ප්‍රකාශයෙහි සඳහන් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2021 සඳහා වන ශ්‍රම බල සමීක්ෂණයේ ප්‍රවේශ විය හැකි වඩාත්ම යාවත්කාලීන දත්ත, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 දී සිදු කරන ලද  ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණය සහ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය (Women & Media Collective) විසින් ප්‍රකාශිත “Working Hours: Exploring Gender Dimensions of Unpaid Care Work in Sri Lanka” (ශ්‍රමය සඳහා දායක කෙරෙන කාලය:  ශ්‍රී ලංකාවේ වැටුප් නොලබන සුරැකුම් කටයුතු හා බැඳි  ස්ත්‍රීපුරුෂභාවය ගවේෂණය කිරීම) යන කෘතිය පරිශීලනය කරන ලදි.

පළමු කරුණ: ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනය (ශ්‍රම බලකාය) හා සබැඳි නිල වාර්තාකරණයේදී එම ජනගහනය කොටස් දෙකකට බෙදා වෙන් කොට දක්වනු ලැබේ. එනම්, සේවා නියුක්තිකයින් හා සේවා වියුක්තිකයින් (රැකියාවක් සොයන නමුත් රැකියාවක් සොයා ගැනීමට අපොහොසත් වූ) වශයෙනි. සේවා නියුක්තිකයින් කණ්ඩායම් හතරකට බෙදේ. එනම් සේවානියුක්තිකයින්, සේවායෝජකයින්, ස්වයංරැකියාලාභීන් සහ ගෙවීම් නොලබන පවුල් ශ්‍රමිකයින් වශයෙනි (අතිරේක සටහන 1 බලන්න). ශ්‍රම බලකාය තුළ සිටින්නන් විසින් වෙළඳපොළ තුළ විකිණීමේ හෝ හුවමාරු කිරීමේ අරමුණින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සිදු කෙරේ (නැතහොත් එසේ සිදු කිරීමට ඔවුහු තැත් කරති). ජාතික ගිණුම් පද්ධතිය හා සම්බන්ධ ක්‍රමවේදය තුළ මේ ආකාරයේ ‘ශ්‍රමය’ ජාතික ගිණුම් පද්ධතියේ ක්‍රියාකාරකම් ලෙස හැඳින්වේ. එම නිසා, ශ්‍රම බලකායට ලබා දෙන දායකත්වය ඇගයීමේදී ජාතික ගිණුම් පද්ධතිය සඳහා අදාළ නොවන ක්‍රියාකාරකම් (වැටුප් නොලබන ගෘහස්ථ ශ්‍රමය, සුරැකුම් කටයුතු හා ස්වේච්ඡා ක්‍රියාකාරකම් වැනි ) සඳහා වැය කරනු ලබන කාලය සලකා බලනු නොලැබේ. මෙලෙස, ජාතික ගිණුම් පද්ධතිය සඳහා අදාළ නොවන ක්‍රියාකාරකම්, ශ්‍රමය හා සබැඳි නිල සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොකිරීම මගින් පා.ම සඳහන් කළ පළමු කරුණ තහවුරු වේ .

දෙවැනි කරුණ: ජාතික සමීක්ෂණයක් වන 2017 දී සිදු කරන ලද ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණය තුළින් වාර්තා වී ඇති පරිදි කාන්තාවෝ පැය 5.7 ක් ද පිරිමි පැය 1.6ක් ද (වගුව 1 බලන්න) වැටුප් නොලබන ශ්‍රමය සඳහා කාලය වැය කරති. කෙසේ වෙතත්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකත්වය විසින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක් (ජනගහනයෙන් 40% ක්) ආවරණය කරමින් සිදු කරන ලද තවත් සමීක්ෂණයක් මගින් වැටුප් නොලබන සියලුම ගෘහස්ථ වැඩකටයතු, සුරැකුම් කටයතු හා ස්වේච්ඡාවෙන් සිදු කරන වැඩකටයුතු සඳහා සමස්ත ජනගහනය දිනකට සාමාන්‍යයෙන් වැය කරන කාලය නිවැරදි කොට දක්වා ඇති අතර එය කාන්තාවන් සඳහා පැය 9.14 ක් සහ පිරිමින් සඳහා පැය 5.96 ක් ලෙස දක්වා තිබේ. සුරැකුම් කටයුතුවලින් 60% ක් පමණ  (9.14/15.1) කාන්තාවන් විසින් සිදු කරනු ලබන බව ගණනය කිරීම සඳහා මෙම සංඛ්‍යා භාවිතා කළ හැක. එයින් පෙනී යන්නේ පා.ම. 60% ක අගය ගණනය කිරීම සඳහා මෙම සමීක්ෂණයේ සංඛ්‍යාලේඛන භාවිතා කර ඇති බවයි. කාන්තාවන් වැටුප් නොලබන සුරැකුම් කටයුතු සඳහා ලබා දෙන දායක්තවය මීට වඩා ඉහළ ප්‍රතිශතයක් ගන්නා බව (81% ක්) ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණය පෙන්වා දෙන අතර එමගින් පා.ම.ගේ තර්කය තවදුරටත් තහවුරු කෙරේ.

තෙවැනි කරුණ: පා.ම. සඳහන් කළ කරුණ කාන්තාවන් සහ පිරිමින් වැඩ කරන මුළු පැය ගණනට අදාළ වන බවක් ඇය සිදු කළ ප්‍රකාශය හඟවයි. වැටුප් නොලබන සහ වැටුප් ලබන ශ්‍රමය සඳහා කාන්තාවන් වැය කරන කාලය පැය 7.9ක් බවත් පිරිමින් වැය කරන කාලය පැය 7.3 ක් බවත් ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණයට ඇතුළත් මුළු ශ්‍රමය පිළිබඳ දත්ත පෙන්වා දේ. කාන්තාවන් පිරිමින්ට වඩා දිනකට වැඩි පැය ගණනක් වැඩ කරන බවට පා.ම. සිදු කළ සමස්ත ප්‍රකාශය මෙම  සංඛ්‍යා මගින් තහවුරු කෙරේ . කෙසේ වෙතත්, පා.ම. විසින් මෙහිදී උපුටා දක්වනු ලබන්නේ කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය වෙතින් ලබා ගත් වැටුප් නොලබන සුරැකුම් කටයුතු සඳහා පමණක් අදාළ වන සංඛ්‍යා වේ (කාන්තාවන් සඳහා පැය 13.77, පිරිමින් සඳහා පැය 8.98). එය අතරමැදි නිවැරදි නොකළ සංඛ්‍යාලේඛනයක් වන අතර නිවැරදි කරන ලද අගය දෙවැනි කරුණ විශ්ලේෂණය කිරීමේදී උපුටා දක්වන ලදි (කාන්තාවන් සඳහා පැය 9.14, පිරිමින් සඳහා පැය 5.96).

මුළු ශ්‍රමය සඳහා පා.ම. උපුටා දැක්වූ එක් සංඛ්‍යා කට්ටලයක් (දිනකට පැය 14 සහ 9) වැරදි වැටහීමක් මත පදනම් වූවක් සේ පෙනුන ද, පා.ම. සඳහන් කළ කරුණු තුන සහ ඇය ඉදිරිපත් කළ සමස්ත තර්කය ප්‍රවේශ විය හැකි සියලු දත්ත මගින් තහවුරු කෙරේ. එනම්, ශ්‍රම බලකාය වෙත දක්වන දායකත්වය මැනීමේදී පවතින සීමාවන් හේතුවෙන්  කාන්තාවන් ශ්‍රම බලකායට අඩු දායකත්වයක් ලබා දෙන බවට තක්සේරු කර තිබුණ ද, කාන්තාවන් දැනටමත් දිනකට පිරිමින්ට වඩා වැඩි පැය ගණනක් වැඩ කරන අතර වැටුප් නොලබන සුරැකුම් කටයුතුවලින් ද වැඩි කොටසක් කාන්තාවන් සිදු කරන බව මෙමගින් තහවුරු කෙරේ.

එබැවින්,  අපි  පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන 1: ශ්‍රම බල සමීක්ෂණය (Labour Force Survey) වෙතින් උපුටා ගන්නා ලද රැකියා කාණ්ඩ සඳහා නිර්වචන පහත දැක්වේ:

අ) වැටුප් ලබන සේවානියුක්තිකයින් – වැටුප් / වේතන සඳහා වැඩ කරන්නන්.

ආ) සේවා යෝජකයින් – අවම වශයෙන් වැටුප් ලබන එක් සේවානියුක්තිකයකු හෝ තමන් යටතේ සේවය කිරීමට බඳවා ගෙන සිටින්නන්.

ඇ) ස්වයංරැකියාලාභීන් – වැටුප් ලබන සේවානියුක්තිකයින් නොමැතිව තම ආර්ථික කටයුතු සිදු කරන්නන්.

ඈ) ගෙවීම් නොලබන පවුල් ශ්‍රමිකයින් – වැටුප්/වේතන නොලබා තම පවුලේ සාමාජිකයින් විසින් සිදු කරනු ලබන ආර්ථික කටයුතු සඳහා තම දායකත්වය ලබා දෙන්නන්.

අතිරේක සටහන 2:

කාන්තා ජනගහනය විසින් වැටුප් නොලබන සුරැකුම් කටයුතු සඳහා වැය කරන ලද මුළු කාලය, සමස්ත කාන්තා සහ පිරිමි ජනගහනය එක්ව ගත් කළ වැටුප් නොලබන සුරැකුම් කටයුතු සඳහා වැය කරන ලද මුළු කාලයෙන් බෙදීමෙන්, කාන්තාවන් විසින් දායක කරනු ලබන ලද වැටුප් නොලබන ශ්‍රමයෙහි ප්‍රතිශතය ගණනය කරන ලදි. ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණයේ දත්ත මත පදනම්ව ගණනය කළ විට මෙය 81% ක් වශයෙන් දැක්වේ.

අංක 1 වගුව: ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ජාතික ගිණුම් පද්ධතියේ ක්‍රියාකාරකම් සහ ජාතික ගිණුම් පද්ධතියට අයත් නොවන ක්‍රියාකාරකම් සඳහා සමස්ත ජනගහනය වැය කළ මධ්‍යන්‍ය කාලය (පැයවලින්)



මූලාශ්‍රය

සේපාලි කොට්ටෙගොඩ සහ ප්‍රදීප් පීරිස්, “Working Hours: Exploring Gender Dimensions of Unpaid Care Work in Sri Lanka” (ශ්‍රමය සඳහා දායක කෙරෙන කාලය:  ශ්‍රී ලංකාවේ වැටුප් නොලබන සුරැකුම් කටයුතු හා බැඳි  ස්ත්‍රිපුරුෂභාවය ගවේෂණය කිරීම), පිටු 55-73

https://womenandmedia.org/wp-content/uploads/2023/06/Recognise-Reduce-and-Redistribute-Unpaid-Care-Option.pdf.

ශ්‍රම බල සමීක්ෂණය 2021, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports/2021.

 

ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණ අවසන් වාර්තාව 2017, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

http://www.statistics.gov.lk/PressReleases/TUS_FinalReport_2017.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.