උදය ගම්මන්පිල

උදය ගම්මන්පිල: සිරගතවීම් පිළිබඳව නිවැරදිය, වියදම් පිළිබඳව එතරම් නිවැරදි නැත

"

අද හිරගෙදර ඉන්න වැඩි පිරිසක් දඩය ගෙවා ගත නොහැකිව සිරගතවූ අයයි. හිරකරුවකු නඩත්තුවට රජය දිනකට රුපියල් 671ක් වැය කරනවා. රුපියල් සියයක දඩයක් ගෙවා ගත නොහැකිව හිරේ යන මේ පුද්ගලයා මේ අනුව මාසයකට විසිදාහකට වැඩි දඩයක් ගහනවා.

ලංකාදීප | අප්‍රේල් 2, 2019

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 අප්‍රේල් 2 වන දින ලංකාදීප පුවත්පත උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ පහත ප්‍රකාශ වාර්තා කර තිබුණි:

  1. බන්ධනාගාරවල සිටින බොහෝ පුද්ගලයින් බන්ධනාගාරගත කර ඇත්තේ දඩ මුදල් නොගෙවීම හේතුවෙන්.
  2. සුළු දඩ මුදලක් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරගතව සිටින එක පුද්ගලයෙකු සඳහා රජය දිනකට රු. 671ක මුදලක් වියදම් කරනවා. මේ අනුව එක් සිරකරුවෙකුට මාසයකට රුපියල් විසිදහසකට වඩා වියදම් වෙනවා.

2017 වසර සඳහා දත්ත ලබා දෙන නවතම බන්ධනාගාර සංඛ්‍යාලේඛන වාර්තාව පහත තොරතුරු ලබා දී ඇත:

පළමු ප්‍රකාශය: 2017 වසරේදී දඬුවම් ලබා සිරගත කළ රැඳවියන් 22,833 කගෙන් 57.9%ක් සිරගත කොට ඇත්තේ දඩ මුදල් නොගෙවීම හේතුවෙනි (පළමු වගුව බලන්න). මෙම දත්ත ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ පළමු ප්‍රකාශය හා එකඟ වේ.

දෙවන ප්‍රකාශය: 2017 වසරේදී එක් සිරකරුවෙකු සඳහා සාමාන්‍ය දෛනික වියදම රු. 676කි. මේ අනුව 2017 වසරේදී එක සිරකරුවෙකු නඩත්තු කිරීම සඳහා දරන්නට සිදු වූ සාමාන්‍ය මාසික පිරිවැය රු. 20, 280 ක්ය.

කෙසේ වෙතත් මෙම ගණනය කිරීමේදී සෑම නව සිරකරුවෙකුම බන්ධනාගාරගත කිරීම සඳහා වැය වන ආන්තික පිරිවැය (අමතර වියදම) සැළකිල්ලට ගැනෙන්නේ නැත. මෙයට හේතුව එම පිරිවැයට වෙනස් නොවන යම් වියදම් ද ඇතුළත් වීමයි. උපයෝගිතා වියදම් (විදුලිය, ජලය යනාදී), වැටුප්, පහසුකම් නඩත්තු කිරීමේ ගාස්තු යනාදිය මෙයට ඇතුලත්ය. මෙම වියදම් එක් සිරකරුවකු බන්ධනාගාරගත වීම තුළින් ඉහළ නොයනවා සේම, එක් සිරකරුවෙකු බන්ධනාගාරයෙන් නිදහස් වීම තුළින් පහළ යන්නේද නැත. මන්ත්‍රීවරයා පවසන පරිදි දඩ මුදල් ගෙවා ගත නොහැකිව සිරගත කරන සිරකරුවෙකු නඩත්තු කිරීම සඳහා යන අමතර වියදම මූලිකවම රඳා පවතින්නේ ආහාරපාන, නිල ඇඳුම් ආදී වියදම් මතයි. මෙය සාමාන්‍ය පිරිවැයට වඩා බෙහෙවින් අඩුය. බන්ධනාගාර සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව එක් සිරකරුවෙකු සඳහා වන සාමාන්‍ය දෛනික ආහාර වියදම රු. 114කි. මුදල් අමාත්‍යංශයෙහි අනුමත අයවැය ඇස්තමේන්තුවලට අනුව, 2017 වසරේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙහි පුනරාවර්තන වියදම්වලින් ආහාර සහ නිල ඇඳුම් සඳහා වැයව තිබුණේ 15.7% පමණි. කෙසේ වෙතත් සිරකරුවෙකු සඳහා වන සාමාන්‍ය දෛනික වියදම ගණනය කිරීම සඳහා සියළු පුනරාවර්තන වියදම් ඇතුළත් වේ.

බොහෝ සිරකරුවන් බන්ධනාගාර ගතව සිටින්නේ දඩ මුදල් ගෙවා ගත නොහැකිවයි. එක සිරකරුවෙකු නඩත්තු කිරීම සඳහා වන සාමාන්‍ය මාසික වියදම ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හා එකඟ වුවත්, මන්ත්‍රීවරයා පවසන නව සිරකරුවෙකු ඇතුළත් කිරීම සඳහා වන වියදම, ඉහත අගයට වඩා බෙහෙවින් අඩුය. මේ අනුව අපි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසට නම් කර ඇත.

 

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අපි සුදානම්.

වගුව 1: දඩ මුදල් නොගෙවීම හේතුවෙන් සිරගත කර ඇති සිරකරුවන් ප්‍රතිශතය (2013 – 2017)



මූලාශ්‍රය

මූලාශ්‍ර:

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර සංඛ්‍යාලේඛන වාර්තාව 2018, http://www.prisons.gov.lk/Statistics/statistic_sinhala.html

මුදල් අමාත්‍යාංශය, අනුමත කරන ලද අයවැය ඇස්තමේන්තු – 2018 -, 361 පිටුව, http://www.treasury.gov.lk/documents/10181/490927/V_02_Approved_S.pdf/fb9c066b-dd11-4795-965b-0177b4afdd50

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.