හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් විට මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වන කාරණය සැබෑය

"

...දැන් මේගොල්ලෝ කෑගැහුවානේ අවුරුදු පහකට රුපියල් බිලියන පන්දාස් හත්සීයකින් ණය වැඩි වුණා කියලා. හැබැයි මේගොල්ලන්ගේ කාලේ මාස හතරට [ආසන්න වශයෙන්] බිලියන දාහකින් වැඩිවෙලා... ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මාසෙකට වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා දෙකහමාර ගුණයකින් ණය වැඩි වෙලා.

සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | ජූලි 7, 2020

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් තම ප්‍රකාශය තුළ, 2020 වසරේ පළමු මාස හතර තුළ රටේ මාසික ණය ඉහළ යෑමේ ශීඝ්‍රතාවය, 2015-2019 කාලය තුළ මාසික ණය ඉහළ යෑමේ ශීඝ්‍රතාවය හා සංසන්දනය කර ඇත. 

මෙම ප්‍රකාශය ඇගයීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රවේශ විය හැකි යාවත්කාලීන මාසික විවරණිකාව වන 2020 මැයි මාසික විවරණිකාවත්, එසේම අතීත දත්ත සඳහා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවත් පරිශීලනය කොට ඇත. 

2014 දෙසැම්බර් අවසානයේ සිට 2019 දෙසැම්බර් අවසානය දක්වා වන පස් අවුරුදු කාලය තුළ, රජයේ සමස්ත හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,545 කින් වැඩි වී තිබිණි (නිදර්ශකය 1 බලන්න). මෙය මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශයේ සඳහන් කරනු ලැබූ රුපියල් බිලියන 5,700 ක සංඛ්‍යාවට වඩා සැබවින්ම මඳක් අඩු අගයකි. 

එසේම 2020 වසරේ පළමු මාස හතර තුළ රජයේ සමස්ත හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 993 කින් වැඩිවී ඇත. මෙයද, මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත රුපියල් බිලියන 1,000 ක සංඛ්‍යාව හා ආසන්න වශයෙන් සමපාත වේ.    

මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදු කළ ප්‍රකාශයේ වන ප්‍රධානතම සඳහන වන්නේ, 2020 වසරේ පළමු සිවු මස තුළ රජයේ වැඩිවූ හිඟ ණය ප්‍රමාණයේ මාසික සාමාන්‍යය, ඉන් පෙර වසර පහේ වැඩි වූ හිඟ ණය ප්‍රමාණයේ මාසික සාමාන්‍යය හා සංසන්දනය කර බලන විට අඩු තරමින් 2.5 ගුණයකින් වැඩි වී ඇති බවයි. 2015-2019 කාලසීමාව තුළ වැඩි වූ ණය ප්‍රමාණයේ මසකට සාමාන්‍යය රුපියල් බිලියන 92 ක් වූ අතර, 2020 පළමු සිවු මස තුළ වැඩි වූ ණය ප්‍රමාණයේ මසකට සාමාන්‍යය රුපියල් බිලියන 248 ක් වී ඇත. මෙය ඉන් පෙර වසර පහක කාලයේ මාසික සාමාන්‍යය මෙන් 2.69 ගුණයකින් වැඩිවීමක් වන අතර, සැබවින්ම මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත අගයටත් වඩා වැඩි අගයකි. 

එනිසා, මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සත්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.  

**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



Additional Note

රජයට එකතු වී ඇති ණය ප්‍රමාණයේ ශ්‍රී ලංකා රුපියල් නාමික අගය කාලයත් සමඟින් වැඩි වීමට විවිධ හේතු තිබෙන අතර, ඒ සියල්ල වර්තමාන ප්‍රතිපත්ති සහ රජයේ තීරණයන්ට බැර කළ නොහැක. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, රජය මගින් අමතරව ණය ලබාගෙන නොතිබුණද, ණය ලබාගත් මුදල් ඒකකයට එදිරිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් එකතු වී ඇති ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල්වලින් ගණන් බැලූ විට ඉහළ යා හැක. එසේම, ණය ප්‍රමාණය ඉහළ යෑම තක්සේරු කොට බැලීම සම්බන්ධව වන අර්ථ නිරූපණාත්මක සලකා බැලීම් පිළිබඳ වඩාත් විස්තරාත්මක විශ්ලේෂණයක් සඳහා, එවකට විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ තොරතුරු පිරික්සීමද පරිශීලනය කර බැලිය හැක. කෙසේ නමුත්, මෙම තොරතුරු පිරික්සීමේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණ වීමෙන් ඇතිවන බලපෑම සීමිත එකක් වීම නිසාම, ණය ප්‍රමාණයේ සාපේක්ෂ වැඩිවීම පිළිබඳව මන්ත්‍රීවරයා විසින් කළ උක්ත ප්‍රකාශයේ නිරවද්‍යභාවයට එය බලපෑමක් ඇති නොකරයි.


මූලාශ්‍රය

සමගි ජන බලවේගය මාධ්‍ය හමුවේ විඩියෝව සඳහා [මිනිත්තු 37.30 සිට], ප්‍රවේශය; https://www.facebook.com/sjblanka/videos/1740344922771930/ 

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 මැයි මාසික විවරණිකාව, වගුව  31, පි.33, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mbt/monthly_bulletin_may_202020.pdf 

ශ්‍රී ලංකා මහ බැංකුව, Annual Report 2019 වාර්ෂික වාර්තාවේ සංඛ්‍යාලේඛන  , වගුව 110, පි.102, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2019/en/15_Appendix.pdf 

FactCheck.lk, “මහින්ද රාජපක්ෂ මහතා: වැඩි වූ ණය පිළිබඳව කර ඇති ගණනය කිරීම් වැරදි අතර ණය වැඩිවීමට හේතු පිළිබඳවද වැරදිය”, ප්‍රවේශය: https://factcheck.lk/claim/mahinda%20rajapaksa-2  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.