ජී.එල්. පීරිස්

ජනපති මුක්තිය කෙරෙහි 19 වෙනි සංශෝධනයේ බලපෑම පිළිබඳව අමාත්‍ය පීරිස් වැරදි අදහසක.

"

19 ව්‍යවස්ථා සංශෝධනය තිබෙන තාක්කල් ජනාධිපතිවරයා උසාවි ගානේ රස්තියාදු විය යුතුයි… ඒ නිසා තමයි මුක්තිය අවශ්‍ය වන්නේ…

අරුණ | සැප්තැම්බර් 8, 2020

false

වැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය සිදුකෙරුණේ, යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාවට සිදුවන වෙනස්කම් සන්දර්භය ලෙසින් ගනිමිනි. මෙම ප්‍රකාශය තුළ, අමාත්‍ය ජී.එල්. පීරිස් විසින් යෝජිත 20 වෙනි සංශෝධනයේ දැක්වෙන ආකාරයට ජනපතිට හිමිවන මුක්තිය සාධාරණීකරණය කරන්නේ, 19 වෙනි සංශෝධනය බලාත්මකව තිබෙනා තුරු ජනපතිවරයාට අධිකරණයෙහි “රස්තියාදු” වෙමින් කාලය නාස්ති කිරීමට සිදුවන බව පවසමිනි.

මෙම ප්‍රකාශය තක්සේරු කර බැලීම සඳහා FactCheck.lk මගින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමට පෙර සහ පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 35 වන ව්‍යවස්ථාවේ එන විධිවිධාන වෙන වෙනම  පරිශීලනය කොට ඇත.

19 වෙනි සංශෝධනයට පෙර මෙන්ම පසුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන විධිවිධානයන් සරලව කියැවූ විට පෙනී යන්නේ, ජනපතිවරයා සිය ධූරයේ සිටියදී ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිමය ක්‍රියාමාර්ගයන් (එනම් සිවිල් හෝ අපරාධ නඩු ආකාරයෙන්) ඇරඹීමට හෝ පවත්වාගෙන යාමට නොහැකි බවයි. එනිසා, ජනපතිවරයාට පෞද්ගලිකවම අදාළ වන නීති ක්‍රියාමාර්ගයන් (මැතිවරණයට පෙරාතුව), ඔහු ජනපති ධූරයේ සිටියදී ක්‍රියාත්මක කිරීම අත්හිටුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අවකාශ දෙනු ලබන්නේ, ජනපතිගේ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සීමාසහිතව කළ හැකි නීතිමය අභියෝග කිරීම් සඳහා පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර වුවත්, පසු වුවත් ජනපතිගේ ක්‍රියාවන්ට එරෙහිව වන එම අභියෝගයන් ඉදිරිපත් කෙරෙන්නේ නීතිපතිවරයාට එරෙහිව වන අතර, ජනපති නියෝජනය කරමින් අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුත්තේද නීතිපතිවරයායි. ජනපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින අතර, එසේ පෙනී සිටීම අවශ්‍ය වන්නේද නැත (සැබවින්ම ජනපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙසින් නම් කිරීමක් පවා සිදු නොවේ).

19 වෙනි සංශෝධනයට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙසේ අභියෝගයට ලක් කළ හැකි වූයේ ජනපතිවරයාගේ අමාත්‍ය බලතල පමණි. 19 වෙනි සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනපතිවරයාගේ නීත්‍යානුකූල බලතල ඕනෑම එකක් (එකක් හැරෙන්නට—යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමට ජනපතිවරයාට ඇති බලය) ක්‍රියාත්මක කිරීම, මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම ඔස්සේ අභියෝගයට ලක් කිරීමට හැකියාව ඇත. මෙසේ 19 වෙනි සංශෝධනයෙන්, අධිකරණය ඉදිරියේ අභියෝග කළ හැකි ජනපතිවරයාගේ ක්‍රියාවන් සම්බන්ධ විෂය පරාසය පුළුල් වුවත්, ජනපතිවරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදු නොවේ. එනම්, අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍යතාවයක් ඇති කරවන බලපෑමක් ජනපති මුක්තිය කෙරෙහි ඇති නොකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වෙනි සංශෝධනය එක් කිරීමට පෙර හෝ 19 වෙනි සංශෝධනයෙන් පසුව හෝ ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නොදැක්වෙන අතර, යෝජිත 20 වෙනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ගත් විටද, එම ස්ථාවරය එලෙසම පවතී.

මේ අනුව, යෝජනා වී ඇති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අධිකරණයේ කාලය වැය කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයාට හිමිව ඇති මුක්තිය සඳහා සඵලදායී වෙනසක් සිදුවී නොමැති අතර, සැලකිය යුතු මට්ටමකින් සිදුවන එකම වෙනස වන්නේ, අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට හැකියාවක් ඇති ජනපතිවරයාගේ ක්‍රියාවන්ගේ විෂය පරාසය පටු වී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර තිබූ තත්වයටම පත් වීම පමණි.

එනිසා, අමාත්‍ය පීරිස්ගේ මෙම ප්‍රකාශය සාවද්‍ය යැයි අපි පවසමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම  යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු  සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම  ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන්:

අමාත්‍යවරයා විසින් මෙම මුක්තිය පිළිබඳ අවශ්‍යතාවය තහවුරු කිරීම උදෙසා තවදුරටත් දක්වා සිටියේ, “ජනතාව වෙනුවෙන් පැවැරුණු භාරදූර වගකීම ඉටුකිරීමට ජනාධිපතිවරයාට මානසික නිදහස ලබාදීම අවශ්‍යයි…” යනුවෙනි. ඔහුගේ ප්‍රකාශයේ මෙම කොටස FactCheck.lk මගින් ඇගයුම් කර නොමැත්තේ, මානසික පීඩනයේ ප්‍රමාණය කරුණු සාධකයක් නොවන බැවිණි. කෙසේ වෙතත්, 19 වෙනි සංශෝධනය යටතේ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකියාවක් ඇති ජනපතිවරයාගේ ක්‍රියාවන්ගේ විෂය පථයේ පුළුල් වීම, ජනපතිවරයාගේ මානසික පීඩනයට අමතර බරක් එකතු කිරීමක් ලෙසින් අමාත්‍යවරයා වටහා ගත්තා වීමටද හැකියාවක් තිබේ.



මූලාශ්‍රය

  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවදහනව වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව, 70 ව්‍යවස්ථාවප්‍රවේශය:  https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th.pdf. 
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවදහඅට වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව, 70 ව්‍යවස්ථාවප්‍රවේශය:   https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-18th.pdf.