තොරතුරු පිරික්සීම
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සිය ප්‍රකාශය තුළින් කරුණු තුනක් මතු කර තිබේ: එනම්, (1) 2041 වන විට රටේ ජනගහනයෙන් 25%ක් වැඩිහිටි පිරිස වනු ඇති බවත්, (2) 2053 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය උපරිම අගයකට පැමිණෙනු ඇති බවත්, සහ (3) ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම වයස්ගත වන රටවල් අතරින් එකක් බවත් ඔහු ප්‍රකාශ කර සිටී.
ඔහු විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාලේඛනවලට වඩාත්ම සමීප වන බැවින් ලේකම්තුමා “වැඩිහිටි” යන්නේ අදහස් කර ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් බව FactCheck.lk විසින් අර්ථකථනය කර ඇත. ආසියාවට අයත් රටවල් සංඛ්‍යාව එය තීරණය කිරීමට යොදා ගන්නා වර්ගීකරණය අනුව වෙනස් වේ; ඒ අනුව, මෙම විශ්ලේෂණය සඳහා FactCheck.lk, ආසියානු රටවල් 50ක් ඇති බවට පිළිගන්නා එක්සත් ජාතීන්ගේ M49 ප්‍රමිතිය යොදා ගෙන ඇත.
මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා සංඛ්‍යාලේඛන සමාලෝචනය (Statistics in Review – Vol. 2, Issue 1, 2022) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අංශයේ 2022ලෝක ජනගහන අපේක්ෂණ (World Population Prospects 2022) දත්ත ගබඩාව පරිශීලනය කරන ලදි.
කරුණ 1: 2041 වන විට ජනගහනයෙන් 25%ක් වැඩිහිටි යපුද්ගලයින්ගෙන් සමන්විත වනු ඇත
2042 වන විට වැඩිහිටි ජනගහනය (60+) මුළු ජනගහනයෙන් 24.7% ක් වනු ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යයනයේ 8 වැනි වගුව මගින් පුරෝකථනය කරයි. එලෙසම, දරුඵල පිළිබඳ එක්සත් ජාතීන්ගේ මධ්‍යකාලීන පුරෝකථනයට අනුව මුළු ජනගහනයෙන් කොටසක් ලෙස ගත් විට 2023 දී 16.8% ක් වශයෙන් පැවති වැඩිහිටි පුද්ගලයින්ගේ ජනගහනය, 2041 දී 23.2% දක්වා ඉහළ ගොස් 2045 වන විට 25% දක්වා ඉහළ යනු ඇත. 2040 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 25%ක් පමණ වැඩිහිටි පිරිස වනු ඇතැයි යන ලේකම්තුමාගේ ප්‍රකාශය එමගින් පුළුල් ලෙස තහවුරු කෙරේ.
කරුණ 2: අද දවසේ සිට 2053 දක්වා වූ කාලය තුළ ජනගහනය උපරිමයක් කරා ළඟා වනු ඇත
දරුඵල පිළිබඳ එක්සත් ජාතීන්ගේ මධ්‍යකාලීන පුරෝකථනයට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනය 2051 දී මිලියන 24.8 ක උපරිමයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය ලේකම්තුමාගේ ප්‍රකාශය සමඟ සමපාත වේ.
කරුණ 3: ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම වයස්ගත වන රටවල් අතරින් එකකි
මෙම කරුණ මගින් අදහස් කරනු ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ වයස්ගත වීමේ වේගයයි. FactCheck.lk විසින් මෙම කරුණ ක්‍රම දෙකකින් පරීක්ෂා කරන ලදි:
මුළු ජනගහනයෙන් කොටසක් ලෙස ගත් විට වැඩිහිටි ජනගහනය ඉහළ යාමේ වේගය: කොටසක් වශයෙන් වැඩිහිටි ජනගහනයේ වැඩිවීම විශාල වන තරමට වයස්ගත වීමේ ක්‍රියාවලිය ද වේගවත් වේ. 2023 සහ 2053 අතර කාලය තුළ, කොටසක් වශයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 1.6 ගුණයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මීට සාපේක්ෂව, එම කාලය තුළ මාලදිවයිනේ වැඩිහිටි ජනගහනය 5.2 ගුණයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කෙරේ. මෙම පරීක්ෂණයේදී ශ්‍රී ලංකාව ආසියාවේ රටවල් 50න් 41වැනි ස්ථානයට පත්වන අතර, එය වේගයෙන්ම වයස්ගත වන රටවල් අතර නොව, එම වේගය අඩුම රටවල් 20% අතර සිටී.
2053 වන විට වැඩිහිටි ජනගහනයේ සාපේක්ෂ කොටස: මෙම පරීක්ෂණය මගින් වැඩිහිටි ජනගහනය වැඩිවීමේ අනුපාතය නොව, අනෙකුත් ආසියානු රටවලට සාපේක්ෂව 2053 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය හිමි කරගන්නා සමස්ත කොටස තක්සේරු කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයේ පසුවන අතර, 2053 වන විට එය රටවල් 50න් 18 වැනි ස්ථානයට පත්වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මගින් ද ශ්‍රී ලංකාව වේගයෙන්ම වයස්ගත වන රටක් ලෙස ස්ථානගත නොකෙරේ.
අනාගතය පිළිබඳ පුරෝකථන මගින් ලේකම්වරයාගේ ප්‍රකාශය තහවුරු නොවීම හේතුවෙන් මෑතකාලීනව වාර්තා වූ වයස්ගත වීමේ වේගයට අදාළව අපි ඔහුගේ ප්‍රකාශය සලකා බැලුවෙමු. මෙහිදී පළමු පරීක්ෂණය අතීතයට බලපාන පරිදි යොදා ගත් විට, පසුගිය වසර 30 ට අදාළව වයස්ගත වීමේ වේගය අනුව ශ්‍රී ලංකාව රටවල් 50න් 18 වැනි ස්ථානයට පත්වේ. ඒ අනුව, ලේකම්තුමා ප්‍රකාශ කළ පරිදි, ශ්‍රී ලංකාව “වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක්” පවතින රටක් වශයෙන් සැලකිය නොහැක.
සාරාංශයක් ලෙස, වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතය සහ ජනගහනය උපරිම අවස්ථාවට ළඟා වන කාලසීමාවට අදාළව ලේකමතුමා සඳහන් කළ පළමු කරුණු දෙක නිවැරදි වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම වයස්ගත වන රටවලින් එකක් බවට සඳහන් කළ තෙවැනි කරුණ පවතින දත්තවලට සාපේක්ෂව බොහෝ සෙයින් අපගමනය වූවකි.
එබැවින්, අපි ලේකම්තුමාග් ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අංක 1 වගුව: ආසියානු රටවල් 50ක් අතර වැඩිහිටි ජනගහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය

සටහන: 2053 සංඛ්‍යා එක්සත් ජාතීන්ගේ ජනගහන අංශ මත පදනම් වූ පුරෝකථන වේ.
උදාහරණය: 50 වැනි (1.9 ගුණයක්) යන්නෙන් අදහස් වන්නේ 2023 දී ආසියානු රටවල් 50 අතරින් ශ්‍රී ලංකාව 50 වැනි ස්ථානයට පත්වන බවයි. 1.9 ගුණය යන්නෙන් අදහස් කෙරෙන්නේ පසුගිය වසර 30 තුළ (1993 සිට 2023 දක්වා) වයස 60+ කොටසේ 1.9 ගුණයක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
මූලාශ්‍රය
සංඛ්‍යාලේඛන සමාලෝචනය (වෙළුම 2, නිකුතුව 1)( Statistics in Review (Vol. 2, Issue 1, 2022)), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. https://www.statistics.gov.lk/Publication/SSR/SSR_Introduction#gsc.tab=0
ලෝක ජනගහනයේ අපේක්ෂණ (World Population Prospects) 2022 දත්ත ගබඩාව, එක්සත් ජාතීන්ගේ ජනගහන අංශය.https://www.un.org/development/desa/pd/sites/www.un.org.development.desa.pd/files/wpp2022_summary_of_results.pdf