අලි සබ්රි

බංකොලොත්භාවය ඇගයීමට පා.ම. අලි සබ්රි අසමත්ව ඇත

"

සමහරු කියනවා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියලා. බංකොලොත්භාවය තීරණය වන්නේ යම් රටක් සතු වත්කම් ප්‍රමාණය සහ වගකීම් ප්‍රමාණය මත පමණක්ම නොවේ. අපේ වත්කම් එ.ජ. ඩොලර් බිලියන 400 ක් වන අතර වගකීම් එ.ජ. ඩොලර් බිලියන 47 යි. ඒ නිසා, ඒ අර්ථයෙන් අපි බංකොලොත් නැහැ. නමුත් ඔවුන් අදහස් කරන්නේ ගෙවුම් ශේෂය, එදිනෙදා වියදම්

ඩේලි නිව්ස් | අප්‍රේල් 9, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාව සතු වත්කම්වල වටිනාකම එ.ජ. ඩොලර් බිලියන 400ක් වන බවත්, වගකීම් එ.ජ. ඩොලර් බිලියන 47ක් වන බවත් පා.ම. අලි සබ්රි මෙහිදී ප්‍රකාශ කර සිටී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් නොවන බවත්, මේ අවස්ථාවේදී මතුව ඇති ගැටළුව හුදෙක් එදිනෙදා වියදම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වීම බවත් ඔහු තවදුරටත් පවසා සිටී. 

ජාතික ගිණුම් ආශ්‍රිතව බංකොලොත් යන යෙදුම පොදු ව්‍යවහාරයේ භාවිතා වන්නකි; ගිණුම්කරණයේදී ඒ සඳහා භාවිතා කෙරෙන විධිමත් යෙදුම බුන්වත්භාවය” (insolvency) වේ. මෙම ප්‍රකාශයෙහි ඇතුළත් කරුණු විශ්ලේෂණය කිරීමේදී FactCheck.lk විසින් ගිණුම්කරණයේදී: (1) බුන්වත්භාවය සහ (2) ද්‍රවශීල නොවීම (illiquidity) යන යෙදුම්වලින් දැක්වෙන නිර්වචනයන් අතර වෙනස ඇගයීමට ලක් කර ඇත 

ජාත්‍යන්තර නිර්වචනයන්ට අනුව, යම් කිසි රටක පොලී ගෙවීම් ද ඇතුළුව පුරෝකථනය කර ඇති සියලු ඉදිරි වියදම්වල වට්ටම් කරන ලද වත්මන් වටිනාකම, පුරෝකථනය කරන ලද සමස්ත අනාගත ආදායමේ වට්ටම් කරන ලද වත්මන් වටිනාකම නොඉක්මවයි නම් එම රට නුබුන්වත් යැයි සැලකේ. ආර්ථික, සමාජීය සහ දේශාපාලන වශයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් පවතින ප්‍රතිපත්ති මාලාවක් තුළ යම් රටකට ඉහත කොන්දේසිය සපුරාලීමට නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අවස්ථාවන්හිදී එම රට බුන්වත්භාවයට පත්ව ඇතැයි යනුවෙන් තක්සෙරු කෙරේ. ණයකරුවකු සතු ද්‍රවශීල වත්කම් සහ පවතින මූල්‍යකරණ හැකියාව, යම් කාල සීමාවක් තුළ සිදු කළ යුතු ණය ආශ්‍රිත ගෙවීම් පියවීමට තරම් ප්‍රමාණවත් නොවේ නම් එම ණයකරු ද්‍රවශීල නොවන තත්ත්වයට පත්ව ඇතැයි සැලකේ.  

එබැවින්, ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ ද්‍රවශීල නොවන තත්ත්වයකට මිස බුන්වත්භාවයට නොවන බව පා.ම. අලි සබ්රි තම ප්‍රකාශය තුළින් අදහස් කර ඇති බවට මෙහිදී FactCheck.lk විසින් එම ප්‍රකාශය අර්ථකථනය කර ඇත. 

ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති, 2021 වර්ෂය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ IV වන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාවේ සඳහන් පරිදි, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි මට්ටමක පවතින අතර බුන්වත්භාවය ආශ්‍රිත ගැටළුවක් ඉන් පැහැදිලිව පෙන්නුම් කෙරේ. මෙම තක්සේරුව, ශ්‍රී ලංකාව බුන්වත්භාවයට පත්ව නොමැති බවට පා.ම. සිදු කළ ප්‍රකාශය හා පරස්පර විරෝධී වේ (ඔහු “බංකොලොත්” යන යෙදුම භාවිතා කරයි). 

ශ්‍රී ලංකාව සතු වත්කම්, වගකීම් ඉක්මවන බවට පා.ම. අලි සබ්රි සිදු කළ ප්‍රකාශය ඇගයීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ (MoF) සහ මහ බැංකුවේ වාර්ෂික වාර්තා පරිශීලණය කරන ලදි. 2020 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව, 2020 අවසන් වන විට මධ්‍යම රජය සහ රජයේ ප්‍රධාන ව්‍යවසායන් සතු සමස්ත වත්කම්වල වටිනාකම රු. බිලියන 12,439 ක් පමණක්,  එනම් එ.ජ.ඩොලර් බිලියන 66.7 ක් (2020 අවසානයේදී පැවති විනිමය අනුපාතිකයට අනුව) විය. රාජ්‍ය ආයතනවල කොටස් දෙවරක් ගණනය කිරීම් සඳහා ඇතුළත් කිරීම හේතුවෙන් වාර්තා කර ඇති වත්කම්වල වටිනාකම මීට වඩා තරමක් වැඩි වේ (රු. බිලියන 13,109). ඩොලර් අගයෙන් ගත් විට ද මෙම වත්කම්වල වටිනාකම 2022 මාර්තු මාසයේ සිට මුදල් අවප්‍රමාණය වීමෙන් පසු අඩු වන්නට ඇත. 2020 අවසන් වන විට මුළු රාජ්‍ය ණය (මධ්‍යම රජයේ ණය සහ රජයේ ව්‍යවසායන් සඳහා රජයේ ඇපකර ණය) රු. බිලියන 16,427 ක්, එනම් එ.ජ. ඩොලර් බිලියන 88 ක් විය. ඉදිරි විශ්‍රාම වැටුප් ගෙවීම් ආදිය සම්බන්ධයෙන් දැනටමත් එකතු වී ඇති රාජ්‍ය අංශයේ බැඳීම් වැනි ප්‍රකාශයට පත් නොකරන ලද වගකීම් සැලකිල්ලට ගතහොත් මෙම අගය තවත් ඉහළ යනු ඇත. එබැවින්, රජයේ ප්‍රකාශිත වගකීම් එහි වත්කම්වලට වඩා වැඩි බැවින් රජයේ වත්කම්වල ශුද්ධ වටිනාකම(වත්කම්වලින් වගකීම් අඩු කළ විට) ඍණ අගයක් ගනී. මෙය, රජය සතු වත්කම්වල ශුද්ධ වටිනාකම පිළිබඳ පා.ම. සබ්රි විසින් සිදු කරන ලද ප්‍රකාශයට පරස්පර විරෝධී වේ. 

බංකොලොත් නොවීම (එනම්, බුන්වත්භාවය) සහ ශ්‍රී ලංකාව සතු වත්කම්වල ශුද්ධ වටිනාකම පිළිබඳ මන්ත්‍රීවරයා විසින් සඳහන් කරන්නට යෙදුණු කරුණු දෙකම ප්‍රවේශ විය හැකි කරුණු හා නොගැලපේ . ඒබැවින්, අපි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු. 

(සැ.යු.: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇති පරිදි රජය සතු ව්‍යවසායන්ගෙන් අඩකට වඩා අඩු සංඛ්‍යාවකගේ ණය සඳහා ඇපකර ලබා දී තිබේ. ඒ අනුව, රජය සතු ව්‍යවසායන්ගේ මුළු ණය ප්‍රමාණය ඇතුළත් කළහොත්, රාජ්‍ය අංශයේ ප්‍රකාශිත සමස්ත වගකීම් එ.ජ.ඩොලර් බිලියන 94 ක් වැනි විශාල අගයක් වනු ඇත.) 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.  



මූලාශ්‍රය

UNCTAD, Debt Sustainability Analysis (DSA): An E-Learning Training Course (වෙළඳ හා සංවර්ධන කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව, ණය තිරසාරතා විශ්ලේෂණය: විද්‍යුත්-ඉගෙනුම් පුහුණු පාඨමාලාවක්), https://vi.unctad.org/debt/debt/m1/definition.html 

International Monetary Fund, IMF Country Report No. 22/91, March 2022 (ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව අංක 22/91, 2022 මාර්තු), https://www.imf.org/-/media/Files/Publications/CR/2022/English/1LKAEA2022001.ashx 

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2020 

ශ්‍රි ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 

  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.