දයාසිරි ජයසේකර

කර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී රාජ්‍ය අමාත්‍ය ජයසේකර නිවැරදි දත්ත දායක කර ගෙන නොමැත

"

[වර්තමානයේදී] විශාල අර්බුදයකට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත කරුවන් ඉන්නේ, 77 න් පස්සේ හැම ආණ්ඩුවක්ම මේ සියලු අර්බුදයන්ට වග කියන්න ඕනේ... හැම විටම අපේ 54% කට තිබූ කර්මාන්ත ක්ෂේත්‍රය 27% දක්වා සම්පූර්ණයෙන් කඩා වැටුණා.

අද දෙරණ | පෙබරවාරි 4, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

රාජ්‍ය අමාත්‍යවරයා තම ප්‍රකාශය තුළ කරුණු දෙකක් සඳහන් කරයි. එනම්: (1) කර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය, 54% ක් තරම් ඉහළ අගයක සිට 27% ක් දක්වා දැඩි ලෙස පහත වැටී ඇති බව සහ, (2) කර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය පහත වැටීම සිදු වූයේ 1977 න් පසු ඇරඹි කාල පරිච්ඡේදය තුළ බව යනු එම කරුණු දෙක වේ. 

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන මෙම කරුණුවල වැරදි නිවැරදිභාවය පිරික්සීම සඳහා, FactCheck.lk මගින්, දළ දේශීය නිෂ්පාදිතය සඳහා කර්මාන්ත අංශයේ දායකත්වය සම්බන්ධයෙන් පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්ත පරිශීලනය කොට බලා ඇත. 

ඉහත පළමු කරුණ සම්බන්ධයෙන් සැලකූ විට, ප්‍රදර්ශිත අංක 1 මගින් පෙන්වා දෙනු ලබන්නේ, කර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය කිසිදු විටක 30.6% ක අගයකට වඩා ඉහළ ගොස් නැති බවයි. 2019 වසරේදී එය 27.4% ක් වී තිබූ අතර, රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ ආකාරයේ දැඩි පහත වැටීමක් (එනම් 54% ක සිට 27% දක්වා පිරිහීමක්) එය පෙන්නුම් නොකරයි. 

ඉහත දෙවන කරුණ සම්බන්ධයෙන් සැලකූ විට, කර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය 1968 සිට වැඩි වී ඇති අතර, 1974 න් පසු එය 25%-31% ත් අතර පටු පරාසයක උච්චාවචනය වෙමින් තිබි ඇත. කර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය, 1977 වසරින් පසු පැමිණි වසර අටකදී, 1977 වසරේ තිබූ මට්ටමට වඩා ඉහළ ගොස් ඇත. ඒවා නම් 1980, 2005, 2006, 2007, 2008, 2009, 2012, සහ 2013 යන වසර වේ. මෙහි ඉහළම මට්ටම වන 30.6% ක අගය 2006 වසරේදී වාර්තා වී ඇත. 2019 වසරේදී කර්මාන්ත අංශය දළ දේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්වය, 1977 වසරේ මට්ටමට වඩා අඩු වී තිබුණේ ප්‍රතිශත ලක්ෂ්‍ය 1.3 කින් පමණි. 

මෙසේ බලන විට, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයට කර්මාන්ත නිෂ්පාදනය කිසිදු විටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 54% ක් තරම් ඉහළ අගයක පැවතී නොමැති අතර, එය එවැනි ඉහළ අගයක සිට දැඩි කඩා වැටීමකට ද ලක්වී නැත. එසේම, රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ පරිදි එය 1977 වසරේ සිට පහත වැටීමේ රටාවක් ද පෙන්වා නැත.  

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි යැයි අපි පවසමු. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

ප්‍රදර්ශිත අංක 1: 1950 සිට වර්තමානය දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කාර්මික නිෂ්පාදනය 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2020 .  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.