රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය අමාත්‍යවරයා පවසන තරමේ මූල්‍ය දුෂ්කරතාවයක් මැතිවරණය පැවැත්වීමට නොමැත

"

2022 දී රජයේ ආදායම සහ වියදම අතර වෙනස 256%ක් නැතිනම් රු. බිලියන 3,058 ක් තරම් ඉහළ අගයක් වුණා. [2023 දී] ආදායම රු. ට්‍රිලියන 3.45 ක් වන බවට රජය අපේක්ෂා කරන අතර, එම වසර සඳහා රු. ට්‍රිලියන 6.66 ක හිඟයක් ඇති කරමින් වියදම රු. ට්‍රිලියන 10 දක්වා ඉහළ යනු ඇති බවටත් අපේක්ෂා කරනවා. මේ අනුව, ආර්ථිකය පවත්වාගෙන ය

ඩේලි FT | ජනවාරි 21, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ජනවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමේ සන්දර්භය තුළ ය. පවතින ආර්ථික අර්බුදය යටතේ කටයුතු කරන බැවින් මැතිවරණයක් සඳහා මුදල් ලබා ගැනීම මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වන බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව ඇති බවට වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් මගින් රාජ්‍ය මූල්‍ය තත්ත්වයෙහි විශාල පිරිහීමක් පෙන්නුම් කරන සංඛ්‍යා ඉදිරිපත් කෙරෙන අතර, මැතිවරණයක් සඳහා අරමුදල් ලබා ගැනීම මූල්‍යමය අභියෝගයක් වනු ඇති බවට භාණ්ඩාගාරය විසින් දක්වන ලද ස්ථාවරයට එමගින් රුකුලක් ලැබේ.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශය (MoF) විසින් නිකුත් කරන ලද, 2023 වර්ෂය සඳහා අනුමත අයවැය ඇස්තමේන්තු පරිශීලනය කරන ලදි.

2023 දී මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,450ක් වන බවට ඇස්තමේන්තු කර ඇත. මෙම අගය රාජ්‍ය අමාත්‍යවරයා විසින් දක්වා ඇති සංඛ්‍යාව සමඟ බොහෝ දුරට සමපාත වේ. කෙසේ වෙතත්, 2023 සඳහා අයවැය හරහා දක්වා ඇති රජයේ වියදම රුපියල් බිලියන 5,854 ක් පමණක් වන අතර, එය රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි රුපියල් බිලියන 10,000 ක් නොවේ.

එමෙන්ම, අයවැය හිඟය (ආදායම සහ වියදම අතර වෙනස) 2022 දී රුපියල් බිලියන 3,058 සිට 2023 දී රුපියල් බිලියන 6,662 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී. කෙසේ වෙතත්, 2022 වර්ෂය සඳහා පුරෝකථනය කර තිබූ හිඟය (2022 දෙසැම්බර් මාසයේදී සම්මත කරන ලද අයවැය හරහා) රුපියල් බිලියන 2,347 ක් වූ අතර, 2023 සඳහා එය රුපියල් බිලියන 2,405 ක් විය. එනම්, හිඟය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවට ඔහුගේ ප්‍රකාශය තුළින් කියැවෙන නමුත්, හිඟයේ ප්‍රමාණාත්මක වෙනසක් සිදු වී නොමැත.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන මගින් පවතින මූල්‍ය පීඩනය අතිශයෝක්තියට නැංවේ. ඔහු සඳහන් කර ඇති රජයේ වියදම 2023 දී අපේක්ෂිත වියදමට වඩා දෙගුණයකට ආසන්න වන අතර, හිඟය 2023 දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා තුන් ගුණයකට ආසන්න වේ.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: 2021 සිට 2023 දක්වා රජයේ ආදායම සහ වියදම රුපියල් බිලියනවලින්

*වියදම් පිළිබඳ රාජ්‍ය මූල්‍යයට අදාළ අර්ථ දැක්වීම.
මූලා
ශ්‍ර: අනුමත අයවැය ඇස්තමේන්තු 2023, මුදල් අමාත්‍යාංශය



මූලාශ්‍රය

අනුමත අයවැය ඇස්තමේන්තු 2023, මුදල් අමාත්‍යාංශය, ප්‍රවේශය: https://treasury.gov.lk/api/file/e286b9e4-59b1-406f-b324-12f2b46969f2[අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 2]

අනුමත අයවැය ඇස්තමේන්තු 2022, මුදල් අමාත්‍යාංශය, ප්‍රවේශය:
https://treasury.gov.lk/api/file/1d617e1d-482c-4adb-b652-1c58b4007895[අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 2]

රජයේ මුල්‍ය සංඛ්‍යාලේඛන අත්පොත (GFSM) 2014, ප්‍රවේශය:
https://www.imf.org/external/Pubs/FT/GFS/Manual/2014/gfsfinal.pdf[අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 2]

දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා, ප්‍රවේශය:
https://www.dailynews.lk/2023/01/19/law-order/295513/lg-polls-petition-sc-allows-treasury-secretary-file-affidavit , http:/ /www.adaderana.lk/news/87750/මැතිවරණයට-අතිශයින්ම-අභියෝග-අතිරේක-අරමුදල් සුරක්ෂිත කිරීම-භාණ්ඩාගාර ලේකම්- කියයි-sc

[අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 2]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.