හර්ෂ ද සිල්වා

පා.ම. හර්ෂ ද සිල්වා IMF ඉලක්කයේ දුෂ්කරතාව පිළිබඳ තිතටම හරි

"

2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් වන ප්‍රාථමික ගිණුම් අතිරික්තයක් කරා ළඟා වීමට රජය IMF සමඟ එකඟ වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී ප්‍රාථමික ගිණුම දළ දේශීය නිෂ්පාදිතයෙන් සෘණ 6% පමණ දක්වා පහත වැටී තිබිණි...‍ප්‍රාථමික ගිණුම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරි

ඩේලි එෆ්.ටී | සැප්තැම්බර් 5, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. හර්ෂ ද සිල්වා විසින් සඳහන් කරන ලද මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය ‍පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2021 වාර්ෂික වාර්තාව පරිශීලනය කරන ලදි. ආදායමින් වියදම (ණය මත පොලී ගෙවීම් හැර) අඩු කිරීමෙන් ප්‍රාථමික ගිණුම් ශේෂය ගණනය කරනු ලැබේ. 

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධූර කාලය 2019 නොවැම්බර් සිට 2022 ජූලි දක්වා වූ අතර එමගින් 2020 සහ 2021 මූල්‍ය වර්ෂ ආවරණය විය. මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි, 2021 සඳහා ප්‍රාථමික ගිණුම් ශේෂය දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙසෘණ 6% ක් විය. ඉහත සඳහන් පළමු කරුණ නිවැරදි බව මින් පෙනී යයි 

2022 සැප්තැම්බර් 1 දිනැති මාධ්‍ය නිවේදනයට අනුව, විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් නිලධාරි මට්ටමේ එකඟතාවකට එළැඹ තිබේ. 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟාවීම මෙම වැඩසටහනේ එක් අරමුණක් බව මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව, මෙම ප්‍රකාශයට ඇතුළත් දෙවැනි කරුණ ද නිවැරදි වේ. 

තෙවන කරුණ පරීක්ෂා කිරීමේදී FactCheck.lk විසින් අතීත දත්තවලටදිරිව ප්‍රකාශිත ඉලක්කය ඇගයීමට ලක් කරන ලදි. මෙහිදී හඳුනා ගත් කරුණු 2 කි. එනම්: (1) ඉලක්ක කර ගත් ප්‍රාථමික ශේෂ අතිරික්තය 2.3% ක් ලෙස දක්වා තිබුණ ද 1950 සිට මේ දක්වා කාලය තුළ ප්‍රාථමික ශේෂ අතිරික්තයක් වාර්තා වී ඇත්තේ අවස්ථා 5 කදී පමණක් වන අතර, වැඩිම අතිරික්තය වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.8% 1955 වාරාත විය. එතැන් සිට එය කිසිදු අවස්ථාවක දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6% ඉක්මවා ගොස් නොමැත (ප්‍රදර්ශිතය 1 බලන්න ). (2) ප්‍රාථමික ශේෂය සඳහා පනවා ඇති ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාථමික ගිණුම් ශේෂය වසර 4 ක කාලයක් තුළ ප්‍රතිශත ලක්ෂ්‍ය 8.3කින් ඉහළ දැමීම අවශ්‍ය වන අතර මෙවැනි වර්ධනයක් පසුගිය දශක 6 තුළ සාක්ෂාත් කර ‌‌ගනු ලැබ ඇත්තේ එක් වරක් පමණි. එනම්, 1979-1983 කාලය තුළ ප්‍රාථමික ශේෂය ප්‍රතිශත ලක්ෂ්‍ය 10.7 කින් වැඩි වූ අවස්ථාවේදී ය 

මෙම ඉලක්කය සපුරා ගැනීම අතිදුෂ්කර කාර්යයක් වනු ඇතැයි යනුවෙන් පා.ම. සඳහන් කරන ලද  කරුණ ඉහත නිරීක්ෂණයන් මගින් සනාථ කෙරේ. 

මේ අනුව, පා.ම. විසින් සඳහන් කරන ලද කරුණු තුනම පවතින දත්ත සමඟ අනුකූල වන බැවින්, අපි ඔහුගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු. 

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

ප්‍රදර්ශිතය 1: දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුම් ශේෂය පිළිබඳ අතීත දත්ත 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2021, විශේෂ සංඛ්‍යාන උපග්‍රන්ථය 

සටහන: 2019 සහ 2020 ප්‍රාථමික ශේෂය සඳහා මහ බැංකුවේ සංඛ්‍යා දෝෂ සහිත බැවින් ඉහත ප්‍රදර්ශිතට ඇතුළත් දත්ත නිවැරදි කර ඇත. වැඩි විස්තර සඳහා FactCheck.lk විසින් මේ පිළිබඳව මීට පෙර සිදු කරන ලද කරුණු පිරික්සීම බලන්න ( සබැඳිය ). 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2021. විශේෂ සංඛ්‍යාන උපග්‍රන්ථය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “ශ්‍රී ලංකාවවිස්තීරණ ණය පහසුකම යටතේ සහය ලබා දීම  සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් නිලධාරි මට්ටමේ එකඟතාවකට පැමිණේ”, 1 සැප්තැම්බර් 2022. https://www.imf.org/en/News/Articles/2022/09/01 හරහා ප්‍රවේශ විය /pr22295-imf-reaches-staff-level-aggreement-on-an-extended-fund-facility-arrangement-with-sri-lanka 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.