සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස: නිවැරදි නොවන පදනමක් යොදාගැනීම නිසා ගණනය කිරීමද නිවැරදි නොවේ.

"

2020 වසරේ මුල් මාස 7 තුළදී පෙර වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 40.9% කින් රජයේ බදු ආදායම අඩු විය.

දිවයින | ඔක්තෝබර් 7, 2020

false

වැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තක්සේරු කිරීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක ඔස්සේ ලබාගැනීමට හැකියාව ඇති දත්ත පරිශීලනය කොට ඇත.

2020 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ බදු ආදායම ශ්‍රී ලංකා රුපියල් බිලියන 670.4 ක් වී ඇත. 2019 වසරේ එම කාල සීමාව සඳහාම බදු ආදායම දැක්වෙන්නේ ශ්‍රී ලංකා රුපියල් බිලියන 944.4 ක් ලෙසිනි. මෙය 29.0% ක ප්‍රමාණයකින් අඩු වීමකි.

මේ අනුව උක්ත ප්‍රකාශයේ එන නිවැරදි නොවන 40.9% ක අගය පැමිණි ඇත්තේ කෙසේද යන්න අවබෝධ කරගැනීමට මෙහිදී FactCheck.lk උත්සාහ දරා ඇත. බොහෝ දුරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් වරද සිදුකර ඇත්තේ එක්කෝ ගණනය කිරීම තුළ නැතිනම් සිය ප්‍රකාශය ඉදිරිපත් කළ ආකාරය තුළ බව නිදර්ශකය 1 මගින් පෙන්වා දේ. ඔහු සිය ප්‍රකාශයේදී 2019 වසරේ බදු ආදායම 2020 ට වඩා 40.9% කින් වැඩි බව කියා සිටියේ නම් (වඩාත් කුඩා 2020 ආදායම පදනම/හරය ලෙසින් ගැනීමෙන්), ඔහුගේ ප්‍රකාශය සත්‍ය වීමට තිබිණි. කෙසේ වෙතත්, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඉදිරිපත් කළ ආකාරයෙන් නිශ්චිතවම දැක්වෙන්නේ 2020 වසරේ බදු ආදායම පෙර වසරේ එම කාල සීමාවට සාපේක්ෂව අඩු බවයි. ඒ අනුව කළ යුතු ගණනය කිරීම වන්නේ, 2019 වසරේ ආදායම පදනම/හරය ලෙසින් ගෙන අදාළ ගණනය සිදුකිරීමයි. එයින් ලැබෙන්නේ 29.0% ක බදු ආදායම් අඩු වීමකි.

එනිසා, මෙම ප්‍රකාශය අසත්‍ය යැයි අපි පවසමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

සැලකිය යුතුයි: විශ්ලේෂණයේ දිශානතිය අනුව ප්‍රතිශත වෙනස විවිධ ආකාරයෙන් නිරූපණය වීමේ ගැටළුව මග හරවා ගැනීම උදෙසා, ආර්ථික විද්‍යාඥයින් විසින් ඇතැම් විටක පදනම ලෙසින් සංසන්දනය වන සංඛ්‍යාවන් දෙක අතර මධ්‍ය-අගයක් භාවිතා කරයි (midpoint formula). මෙම සූත්‍රය භාවිතා කිරීම ඔස්සේ ඉහත සංසන්දනය සඳහා 33.9% ක ප්‍රතිශත වෙනසක් ලැබේ. එනමුත් එයද ප්‍රකාශයේ සඳහන් වන 40.9% ක අගයට වඩා බොහෝ අඩු සංඛ්‍යාවකි.

නිදර්ශකය 1: 2019 සහ 2020 වසරවල ජනවාරි-ජූලි කාලය තුළ බදු ආදායමේ වෙනස (ශ්‍රී.ල.රුපියල් බිලියන)



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව,  සතිපතා ආර්ථික දර්ශක (2020 ඔක්තෝබර් 02),  ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20201002_e.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 නොවැම්බර් 03]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.