අජිත් නිවාඩ් කබ්රාල්

රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: සංචිත සම්බන්ධයෙන් බැලූ බැල්මට නිවැරදියි

"

අපට බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.

මව්බිම | ජනවාරි 7, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තක්සේරුවකට පැමිණීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 සහ 2019 වාර්ෂික වාර්තාවන් සහ මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක අධ්‍යයනය කර ඇත. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනු ලබන්නේ දළ නිළ සංචිත (GOR) පිළිබඳව යැයි අපි කල්පනා කරමු. (අනෙකුත් සංචිත වර්ග පිළිබඳ නිර්වචනයන් සඳහා අතිරේක සටහන් (iii) බලන්න).

රාජ්‍ය අමාත්‍යවරයාගේ පළමු ප්‍රකාශය වන “අපට බිලියන 8.2ක් සංචිත තිබුණා” යන්නෙන් එවකට ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 09 වෙනි දින සිය ධූරය හැර යන මොහොතේදී රටේ තිබූ විදේශ සංචිත මට්ටම එය බව හඟවයි. එකී දිනට පෙරාතුව විදේශ සංචිත සම්බන්ධයෙන් පොදුජනතාවට ලබාගැනීමට ඇති ආසන්නතම දත්ත ලෙස දැක්වෙන්නේ 2014 දෙසැම්බර් 31 වන දින පැවති විදේශ සංචිත මට්ටමයි. එම දත්ත අනුව දළ නිළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක් ලෙස දැක්වෙන අතර, එය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන සංඛ්‍යාව හා ගැලපේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දෙවන ප්‍රකාශයෙන් දැක්වෙන්නේ, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 16 දින ජනපති ධූරයට පත් කෙරුණු ජනාධිපතිවරණය ඔස්සේ රජය මාරු වූ අවස්ථාව වන විට රටේ තිබූ විදේශ සංචිත මට්ටම 7% කින් අඩු වී ඇති බවයි. එනම් එය ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක් දක්වා පහළ වැටී ඇති බවයි. ජනාධිපතිවරණයට පෙර සහ පසු -එනම් 2019 ඔක්තෝබර් 31 සහ 2019 නොවැම්බර් 30 යන දිනයන්හි – රටේ දළ නිළ සංචිත ප්‍රමාණයන් පිළිවෙලින් ඇමරිකානු ඩොලර් බිලියන 7.8 ක් හා ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක් වී ඇත. අමාත්‍යවරයාගේ දෙවන ප්‍රකාශයෙන් දැක්වෙන සංඛ්‍යාව උක්ත සංඛ්‍යා දෙක අතරමැද පවතී.

මෙසේ බලන විට මේ සම්බන්ධයෙන් ලබාගැනීමට ඇති දත්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සැසඳේ. එනිසා, රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගේ ප්‍රකාශය නිවැරදි වේ යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

අතිරේක සටහන්:

(i) 2020 වන විට දළ නිල සංචිතයන්ගේ ක්ෂය වීම: 2020 නොවැම්බර් මස වන විට රටේ දළ නිළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5,555 ක් වී ඇත. එය 2019 නොවැම්බරයේ සිට බලන විට 26% ක ක්ෂය වීමකි.

(ii) දළ නිළ සංචිතයන්හි තත්වය: 2014 දී තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක සංචිතයන්ට මාස 12 ක් තුළ කල් පිරෙන ඇමරිකානු ඩොලර් මිලියන 2,196 ක විනිමය හුවමාරු ඇතුළත් විණි. එහෙත්, 2019 ඔක්තෝබර් සහ නොවැම්බර් වන විට තිබූ මාස 12 ක් තුළ කල් පිරෙන විනිමය හුවමාරු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 419 කි. 2020 නොවැම්බර් වන විට මාස 12 ක් තුළ කල් පිරෙන විනිමය හුවමාරු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,415 ක් දක්වා ඉහළ නැඟ තිබිණි. මෙයින් දැක්වෙන්නේ 2014 සහ 2020 වසරවල විදේශ සංචිත හා සසඳා බලන විට 2019 වසරේ තිබූ විදේශ සංචිතවල ගුණාත්මකභාවය වඩාත් ඉහළ මට්ටමක වූ බවයි.

(iii) විදේශ සංචිත අර්ථ දැක්වීම්: මූලික වශයෙන් විදේශ සංචිත වර්ග තුනක් තිබේ.

  • දළ නිළ සංචිත (GOR) ලෙසින් හැඳින්වෙන්නේ රජයේ විදේශ වත්කම් සහ මහ බැංකුවේ විදේශ වත්කම්වල එකතුවයි.
  • සමස්ත විදෙස් වත්කම් (TFA) වලට තැන්පතු භාරගන්නා ආයතනයන්හි විදේශීය වත්කම්වල සිට දළ නිල සංචිත දක්වා ඇතුළත් වේ.
  • දළ නිල සංචිතයෙන් සංචිත ආශ්‍රිත වගකීම් [එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (special drawing rights) හැරුණු කොට සමස්ත මහ බැංකු ණය ප්‍රමාණය] අඩු කළ විට එය ශුද්ධ ජාත්‍යන්තර සංචිත (NIR) ලෙසින් හැඳින්වේ.

නිදර්ශකය 1: විදේශ සංචිත සහ විනිමය හුවමාරු (ඇමරිකානු ඩොලර් මිලියන)



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, 2021 ජනවාරි 3 සතිපතා ආර්ථික දර්ශක, වගු අංක 4.3, පි.15, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20200103_e_0.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2015 පෙබරවාරි 20 සතිපතා ආර්ථික දර්ශක, වගු අංක 4.4, පි.16, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/wei_20150220.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, 2019 නොවැම්බර් 29 සතිපතා ආර්ථික දර්ශක, වගු අංක 4.3, පි.15, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_29_11_2019_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2015), වගු අංක 5.11, පි. 165, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2015/en/9_Chapter_05.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2019), වගු අංක 5.12, පි. 198, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2019/en/9_Chapter_05.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.