රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පෙන්වන්නේ වාසි තොරතුරු පමණයි

"

…අපි පියවරෙන් පියවර රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින්නෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවා ගණනය කළේ, පළමු කාර්තුව සඳහා අපගේ ප්‍රාථමික ගිණුමේ ශේෂය සෘණ රුපියල් බිලියන 56 ක් බවයි. නමුත් අපි මෙම කාර්තුව තුළ රුපියල් බිලියන 48 ක ධනාත්මක දියුණුවක් පෙන්නුම් කිරීමට සමත් වී සිටින්නෙමු.

පාර්ලිමේන්තුව සජීවී විකාශය | මැයි 25, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ කාරණයේ දී, ශ්‍රී ලංකාව  අඛණ්ඩ ප්‍රගතියක් ලබමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයාගේ සමස්ත ප්‍රකාශය වේ. මෙම ප්‍රකාශයට සහය දැක්වීම සඳහා, 2023 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව රුපියල් බිලියන 48 ක ධනාත්මක ප්‍රාථමික ශේෂයක් අත්කර ගෙන ඇති බවත්, එය එම කාර්තුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රක්ෂේපණය කර තිබූ  රුපියල් බිලියන 56ක සෘණ ශේෂයඉක්මවා ගිය බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ප්‍රාථමික ශේෂය යනු ආදායම සහ වියදම අතර වෙනස වේ. (පොළී ගෙවීම් හැර)

මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඔහුගේ සමස්ත ප්‍රකාශය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk,  2022 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව (MoFAR), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) කාර්ය මණ්ඩල වාර්තාව (IMFSR) සහ වෙරිටේ රිසර්ච් පවත්වාගෙන යන IMF මීටරය (පිවිසෙන්න- (https://manthri.lk/en/imf_tracker.යන මූලාශ්‍ර පරිශීලනය කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඉස්මතු කරන්නේ, මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික (MoFAR)  වාර්තාවලට අනුව, 2023 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව රුපියල් බිලියන 48.3 ක ධනාත්මක ප්‍රාථමික ශේෂයක් අත්පත් කර ගෙන ඇති අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (IMF) විසින්  ප්‍රක්ෂේපණය කළ සෘණ ශේෂය වන රුපියල් බිලියන 56 ඉක්මවා ගිය බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආදායම්, සහ පොළී පිරිවැය වැනි අනෙකුත් වැදගත් දර්ශක නොසලකා හරිමින්, මූල්‍ය ක්‍රියාකාරිත්වයේ එක් පටු දර්ශකයක් කෙරෙහි පමණක් සිය අවධානය යොමු කරමින් තෝරාගැනීම සිදුකර ඇත. (වැඩිදුර තොරතුරු සඳහා අතිරේක සටහන් අංක1 බලන්න).

 

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉලක්කවලට අනුව, 1) 2023 පළමු කාර්තුව අවසන් වන විට රුපියල් බිලියන 650ක බදු ආදායමක් එකතු කරගත යුතු වේ. එමෙන්ම 2) ද්විපාර්ශවික සහ වානිජමය ණයවල නොගෙවූ පොළී මුදල් ද ඇතුළත් වන පරිදි සකස් කෙරුණු 7.2%ක ඵලදායී පොළී අනුපාතිකයක් 2023 වසරේ පවත්වාගත යුතු වේ.

.

පවතින දත්ත මත FactCheck.lk විසින් සිදු කරන ලද ගණනය කිරීම් මත පදනම්ව ගත්විට, 2023 පළමු කාර්තුව සඳහා අපේක්ෂිත පොළී පිරිවැය රුපියල් බිලියන 500 ට වඩා අඩු බව පෙනී යයි. (FactCheck හි ගණනය කිරීම් තොරතුරු සඳහා අතිරේක සටහන් අංක 2 බලන්න).

නමුත්, මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික (MoFAR)  වාර්තාවලට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද බදු ආදායම් ඉලක්‌කය වූ රුපියල් බිලියන 650 ක මුදල රජය විසින් සපුරා ගෙන නොමැති අතර, රැස්කරගෙන ඇත්තේ රුපියල් බිලියන 578 ක් පමණි.

එමෙන්ම, එම කාලසීමාවේ ගෙවා ඇති පොළී පිරිවැය රුපියල් බිලියන 673.1 කි.එනම්ථ පොළී ගෙවීම් ගත්විට රුපියල් බිලියන 500 ට වඩා අඩු අපේක්ෂිත පොළී පිරිවැය සැළකිය යුතු ලෙස ඉක්මවා ගොස් ඇත.

2023 පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකාව ප්‍රාථමික ශේෂ ඉලක්කය ඉක්මවා ක්‍රියාකිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි වුවත්, ශ්‍රී ලංකාව මූල්‍ය ස්ථාවරත්වයට අදාළ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) තීරණාත්මක දර්ශක සපුරා නොමැති බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය ස්ථායීතාවයේ පුළුල් ප්‍රකාශය සඳහා සහාය වීමට රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනයේ එක් දර්ශකයක් සපුරාලීම පමණක් ප්‍රමාණවත් නොවේ.

මේ අනුව, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදි ලෙස වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන 1: පහත සඳහන් හේතූන් මත මූල්‍ය ස්ථායිතාව ඇගයීම සඳහා මෙම දර්ශක ඉතා වැදගත් වේ:

  • රජයේ ආදායම: බදු ආදායම් ඉලක්ක සපුරාලීම මගින් යෝජිත බදුකරණ ප්‍රතිපත්තිවල සඵලතාවය සහ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීමට සහ ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව පෙන්නුම් කරයි.
  • පොළී පිරිවැය: ප්‍රාථමික ශේෂයට ඇතුළත් නොවූවත්, රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට රජයට ඇති හැකියාව කෙරෙහි පොළී පිරිවැය සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

අතිරේක සටහන 2: FactCheck.lk විසින් 2023 පළමු කාර්තුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) ඇස්තමේන්තුගත ඵලදායී පොළී පිරිවැය ගණනය කර ඇත. 2023 වර්ෂය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) ප්‍රක්ෂේපිත ඵලදායී පොළී අනුපාතය වන 7.2% සඳහා දේශීය පොළී ගෙවීම් සහ සමස්ත බාහිර පොළී ගෙවීම් යන දෙකම ඇතුළත් වේ. වාර්තා කරන ලද රුපියල් බිලියන 673.1 ක පොළී පිරිවැය සමන්විත වන්නේ ගෙවා අවසන් කරන ලද පොළිය තුළින් වන අතර එය බහුපාර්ශ්වික ණය දෙන්නන්ට ගෙවිය යුතු දේශීය ණය සහ බාහිර ණය මත පදනම් වේ. 2022 අප්‍රේල් 12 සිට මෙම ණය හිමියන්ට ණය සේවා ගෙවීම් අත්හිටුවීම හේතුවෙන් බාහිර මූල්‍ය වෙළඳපොලවල් සහ ද්විපාර්ශ්වික ණය දෙන්නන් සඳහා පොළී ගෙවීම් ද බැහැර කර ඇත. 2023 සඳහා ඇස්තමේන්තුගත මුළු පොළී ගෙවීම රුපියල් බිලියන 2,007 කි. ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ 2022 අවසන් වන විට මධ්‍යම රජයේ මුළු හිඟ ණය සහ හිඟ මුදල් වලින් 7.2%ක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) ප්‍රක්ෂේපණය මත ය. මෙම ඇස්තමේන්තුව බාහිර මූල්‍ය වෙළඳපලවල් සහ ද්විපාර්ශ්වික ණය දෙන්නන් සඳහා අපේක්ෂිත පොළී ගෙවීමේ සංරචකය බැහැර කිරීම සඳහා සකස් කරන ලදී. බාහිර මූල්‍ය වෙළඳපොලවල් සහ ද්විපාර්ශ්වික ණය දෙන්නන්සඳහා වන පොළී සංරචකය හැර ප්‍රතිඵලයක් ලෙස ලැබෙන පොළී ගෙවීම් (රුපියල් බිලියන 1,802) හතරෙන් බෙදීම මගින්, කාර්තුමය වශයෙන් අපේක්ෂිත ගෙවිය යුතු පොළියේ අගය රුපියල් බිලියන 500ට අඩු අගයක් ලබා ගනී.



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2022: https://www.treasury.gov.lk/api/file/0a9e89e6-1b9a-497d-bde2-9c7965b4bf81

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය සාරාංශය 2022: https://www.treasury.gov.lk/api/file/a969a81b-13d9-4337-a5b7-858d31eb3715#:~:text=As%20at%20end%202022%2C%20Sri,and%20USD%203.1bn%2C%20respectively.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, “ශ්‍රී ලංකාව: විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ වැඩපිළිවෙළක් සඳහා ඉල්ලීම – මාධ්‍ය නිවේදනය; කාර්ය මණ්ඩල වාර්තාව; සහ ශ්‍රී ලංකා විධායක අධ්‍යක්ෂගේ ප්‍රකාශය”, 2023 මාර්තු 20: https://www.imf.org/en/Publications/CR/Issues/2023/03/20/Sri-Lanka-Request-for-an-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-Press-531191

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2022: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.