නාමල් රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අමාත්‍යවරයෙක් ලෙස පත් කළ යුතු වීම ගැන කරන ප්‍රකාශය මුළුමනින්ම වැරදියි!

"

ඒ අතර අපිට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ, පාර්ලිමේන්තුව කැඳවන්න නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් අනෙකුත් ප්‍රධාන තනතුරු දිවිරුම් දෙන්න ඕනේ කැබිනට් මණ්ඩලේ, ඒ තනතුරුවල වාඩි වෙන්න නම්. ඒ අනුව තමයි ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගරු දිනෙෂ් ගුණවර්ධන ඇමතිතුමන් මහා මාර්ග අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන...

ඩේලි මිරර් ඔන්ලයින් | අප්‍රේල් 5, 2022

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

අග්‍රාමාත්‍යවරයා හැර සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසු ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ‘නව’ කැබිනට් මණ්ඩලයට පත් කළේ මන්දැයි යන ප්‍රශ්න කිරීම් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදි. පාර්ලිමේන්තුව රැස් කිරීමට නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම සභානායක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබිය යුතු බව පදනම් කර ගනිමින් එම පත්වීම ඔහු සාධාරණීකරණය කරයි. 

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය ඇගයීම සඳහා, FactCheck.lk විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අධ්‍යයනය කරන ලදි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74(1)(ii) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව හට නීති මාර්ගයෙන් හෝ ස්ථාවර නියෝග මාර්ගයෙන් හෝ තම කටයුතු නියාමනය කිරීම සඳහා විධිවිධාන සලසා ගත හැක. 

ප්‍රධාන නිලධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති එකම අවශ්‍යතාව වන්නේ කථානායක, නියෝජ්‍ය කථානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයේ හෝ පුරප්පාඩුවක් ඇති වූ විට, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස් වන පළමු අවස්ථවේදී එම පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුව වෙනත් මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගත යුතු බවයි (64(3) වගන්තිය). පාර්ලිමේන්තුවේ වත්මන් ස්ථාවර නියෝග (ස්ථාවර නියෝග 2 සහ 6(1)) තුළින් ද මෙම අවශ්‍යතාව පිළිබිඹු වේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට කෙනෙකු පත් කර නොමැති නම් පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝගවල සඳහන් නොවේ. 

තවද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (හෝ සභානායක) කැබිනට් අමාත්‍යවරයකු විය යුතු බවට වන කිසිදු සඳහනක් ස්ථාවර නියෝග තුළ නොමැත. එපමණක් නොව, කැබිනට් අමාත්‍යවරුන් නොවූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් මීට ඉහත පාර්ලිමේන්තුවේ සිටි බව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති තොරතුරුවලින් පෙනී යයි.  

මේ අනුව, (අ) ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නොමැතිව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවට වන ප්‍රකාශය මෙන්ම, (ආ) ප්‍රධාන සංවිධායකවරයා කැබිනට් අමාත්‍යවරයකු විය යුතු බවට වන ප්‍රකාශය ද නිවැරදි නොවේ. මෙලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය කරුණු දෙකක් ඇසුරින් නිවැරදි නොවන බැවින් අපි එම ප්‍රකාශය මුළුමනින්ම වැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු.  

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

ආශ්‍රිත නීතිරීති 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‍ 

  1. (3) පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුකොටගෙන විනා අන්‍යාකාරයකින් කථානායකය, නියෝජ්‍ය කථානායකය, නියෝජ්‍ය කාරක සභාපතිය යන මේ පදවි අතුරෙන් කවර වූ හෝ පදවියක් හිස් වූ සෑම අවස්ථාවක ම ඒ පදවිය හිස් වූ පසු පළමුවරට පවත්වනු ලබන රැස්වීමේ දී පාර්ලිමේන්තුව විසින් එසේ හිස් වූ පදවියට වෙනත් මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගත යුත්තේ ය.
  1. (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට යටත් ව –

(i) කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා හා නියෝජ්‍ය කාරක සභාපතිවරයා තෝරා පත් කිරීම හා ධුරයෙන් ඉවත් වීම පිළිබඳව ද; 

(ii) පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ පිළිවෙළ විධිමත් කිරීම සඳහා ද, පාර්ලිමේන්තුවේ රැස්වීම්වල දී විනය ආරක්ෂා කිරීම සඳහා ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කොට ඇත්තා වූ හෝ බලය දී ඇත්තා වූ හෝ වෙනත් කාරණා සඳහා ද, යෝජනා සම්මතයෙන් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්වීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය. 

 

ස්ථාවර නියෝග 

  1. කථානායක ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වන කවර හෝ අවස්ථාවකදී, එම පුරප්පාඩුව ඇති වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසින් එහි පළමුවැනි රැස්වීමේ දී කථානායකවරයා ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට කටයුතු කරනු ලැබිය යුත්තේ ය.
  1. (1) 1 වැනි ස්ථාවර නියෝගයේ නිශ්චිතව දක්වා ඇති පරිදි අභිනවයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තුවක පළමුවැනි රැස්වීමේ දී හෝ නියෝජ්‍ය කථානායක ධුරයෙහි හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙහි හෝ පුරප්පාඩුවක්

ඇතිවීමෙන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීමේ දී එහි ප‍්‍රධාන කටයුතු ආරම්භයේ දී, පාර්ලිමේන්තුව විසින්, අවස්ථාවෝචිත පරිදි, නියෝජ්‍ය කථානායකවරයකු හෝ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබීමට කටයුතු කරනු ලැබිය යුත්තේ ය. 

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  

  1. කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප‍්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප‍්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත‍්‍රීවරයන් අට දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් තිබිය යුත්තේ ය. පාර්ලිමේන්තුවේ සභානායකවරයා විමසා, කථානායකවරයා

විසින් කාරක සභාවට යොමු කිරීම පිණිස නියම කරනු ලබන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සඳහා වෙන් කළ යුතු කාල සීමාව සහ වෙනත් කරුණු සලකා බලා තීරණය කිරීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කර්තව්‍යය විය යුත්තේ ය. මෙම කාරක සභාවේ රැස්වීම්වල කාර්ය සටහන් සියලු ම සාමාජික මන්ත්‍රීවරයන් අතර බෙදා හරිනු ලැබිය යුත්තේ ය. 

 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, ප්‍රවේශය: https://parliament.lk/files/pdf/standing-orders-en.pdf   

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රවේශය: https://www.parliament.lk/chief-government-whips