තොරතුරු පිරික්සීම
2015 – 2019 කාලය ඇතුළත:
- ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7% සිට 2% දක්වා ක්‍රමයෙන් කඩා වැටුණු බවත්,
- ශ්‍රී ලංකාවේ විදේශ ණය එ.ජ. ඩොලර් බිලියන 15 කින් වැඩි වූ බවත්,
- ශ්‍රී ලංකාවේ විදේශ සංචිත එ.ජ. ඩොලර් බිලියන 1 කින් අඩු වූ බවත්, හිටපු මහ බැංකු අධිපති කබ්රාල් විසින් සිය ප්‍රකාශය තුළින් දක්වන ලදි.
ඉහත සඳහන් කරුණු ත්‍රිත්වයෙහි වැරදි නිවැරදිභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා සහ මුදල් අමාත්‍යාංශයේ (MoF) වාර්ෂික වාර්තා පරිශීලනය කරන ලදි.
මින් පළමු කරුණ ඇගයීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තක්සේරු කිරීම සඳහා මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන අනුපාතය යොදා ගන්නා ලදි. 2014 අවසන් වන විට ශ්‍රී ලංකාව 5%ක වර්ධන අනුපාතයක් වාර්තා කර තිබූ බවත් 2019 අවසන් වන විට මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය 2.3% දක්වා පහත වැටී තිබූ බවත් ප්‍රදර්ශිතය 1 මගින් දැක්වේ. 2010 සිට 2014 දක්වා කාලය තුළ වර්ධන අනුපාතයේ සාමාන්‍යය 6.8%ක් වූ අතර හිටපු මහ බැංකු අධිපති විසින් තම ප්‍රකාශය සිදු කිරීමේදී මෙම අගය භාවිතා කරන ලදැයි අනුමාන කළ හැක. එනමුත්, එම සංඛ්‍යාවන්ට අනුව ගත් විට 2015 සිට 2019 දක්වා කාලය තුළ වර්ධන අනුපාතයේ සාමාන්‍යය 3.7% ක අගයක් දක්වයි. වර්ධන අනුපාතයේ සාමාන්‍යය මෙහිදී වඩා වැඩි බැස්මක් පෙන්වන නමුත් එම පහත බැසීම 3.1% ක් වන අතර හිටපු මහ බැංකු අධිපති පැවසූ ආකාරයට 5% ක බැස්මක් නොපෙන්වයි.
ඉහත සඳහන් දෙවැනි කරුණෙහි වැරදි නිවැරදිභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකාවේ බාහිර රාජ්‍ය ණයවල සිදු වූ වැඩිවීම ගණනය කරන ලදි. රජය සතු ව්‍යවසායයන් වෙත ස්වෛරීත්ව ඇප ආවරණය යටතේ පවතින ණය ද මීට ඇතුළත් විය. ප්‍රදර්ශිතය 2 හි දැක්වෙන පරිදි 2014 අග සිට 2019 අග දක්වා කාලය තුළ විදෙස් ණයවල සිදු වූ වැඩි වීම එ.ජ. ඩොලර් බිලියන 12.5 ක් වූ අතර එය හිටපු මහ බැංකු අධිපති පැවසූ ආකාරයට එ.ජ.ඩොලර් බිලියන 15 ක් නොවිණ.
තෙවැනි ප්‍රකාශය සැලකීමේදී, ප්‍රදර්ශිත අංක 3 න් දක්වා ඇති පරිදි, 2014 අග සිට 2019 අග දක්වා කාලය තුළ හිටපු මහ බැංකු අධිපති ප්‍රකාශ කර ඇති අයුරින් දළ නිල සංචිතයන්හි එ.ජ. ඩොලර් බිලියන 1 ක පහත වැටීමක් වාර්තා වී නොතිබුණු අතර එම පහත වැටීම එ.ජ. ඩොලර් බිලියන 0.57 ක් පමණක් විය.
මෙලෙස, හිටපු මහ බැංකු අධිපති කබ්රාල් විසින් ගෙන හැර දක්වන ලද සංඛ්‍යාවන් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කරුණු ත්‍රිත්වයෙන් එකදු කරුණක් සමඟ හෝ ගැලපීමක් නොපෙන්වයි. එබැවින්, අපි ඔහුගේ ප්‍රකාශය වැරදි යැයි වර්ගීකරණය කරමු.
සැ.යු. 2014 අවසන් වන විට දළ නිල සංචිතවලින් 27% ක් කෙටි කාලීන මුදල් හුවමාරුවලින් සමන්විත විය. එනමුත් 2019 අවසන් වන විට කෙටි කාලීන මුදල් හුවමාරුවලින් සමන්විත වූයේ දළ නිල සංචිතවලින් 5% ක් පමණි. විදේශ විනිමය ආශ්‍රිත තාවකාලික ද්‍රවශීලතා හිඟයක් පියවා ගනිමින් විදෙස් මුදල් සංචිත ඉහළ නැංවීමට මෙම මුදල් හුවමාරු බොහෝ විට භාවිතා වේ. එබැවින් විදෙස් මුදල් සංචිතයන්හි සිදුවන ඉහළ යාම තක්සේරු කිරීමේදී ඒවා බැහැර කළ යුතු වේ. ඒ අනුව, මුදල් හුවමාරු බැහැර කළ විට, 2014 අග සිට 2019 අග දක්වා කාලය තුළ දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 1.27 කින් වැඩි වී ඇති බව ප්‍රදර්ශිත අංක 3 න් පෙනී යයි.
ප්‍රදර්ශිතය 1: 2010 – 2019 දක්වා මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතයන්
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 – විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය
ප්‍රදර්ශිතය 2: මුළු බාහිර රාජ්‍ය ණය
මූලාශ්‍රය: වෙරිටේ රිසර්ච් විසින් සම්පාදිත Demystifying increase in Sri Lanka’s debt පුවත්පත් ලිපිය
ප්‍රදර්ශිතය 3: ශ්‍රී ලංකාව සතු සංචිත පිළිබඳ තත්ත්වය
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 – විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය
මූලාශ්‍රය
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 – විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය
වෙරිටේ රිසර්ච් විසින් සම්පාදිත Demystifying increase in Sri Lanka’s debt පුවත්පත් ලිපිය (“ඩිමිස්ටිෆයින්ග් ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ඩෙට්”, ශ්‍රී ලංකාවේ ණය වර්ධනය වූ අයුරු), ප්‍රවේශය: https://www.dailymirror.lk/other/Demystifying-increase-in-Sri-Lankas-debt/117-226501 [අවසන් වරට ප්‍රවේශය 2022 අප්‍රේල් 4]
2014 – 2019 කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළ කරන ලද සතිපතා ආර්ථික දර්ශකයන්හි විවිධ සංස්කරණ
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ දත්ත ප්‍රචලිත සම්මතය, ප්‍රවේශය: http://erd.cbsl.gov.lk/erd/presentation/htm/english/erd/sdds/rpt_sdds.aspx [අවසන් වරට ප්‍රවේශය 2022 අප්‍රේල් 4]