ගෝඨාභය රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ රජය යටතේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය, ගෝඨාභය රාජපක්ෂ විසින් අතිශයෝක්තියෙන් දක්වයි

"

අපි තමයි ඉඩම් වලින් 90% ක් නිදහස් කළේ.

මාධ්‍ය සාකච්ඡාව | ඔක්තෝබර් 16, 2019

false

වැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් දක්වන්නේ යුද්ධය අවසාන වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ රජය මගින්, ආරක්ෂක හමුදාවන් විසින් අත්පත් කරගන්නට යෙදුණු ඉඩම් වලින් 90% ක් නිදහස් කොට ඇති බවයි.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තහවුරු කරගැනීම උදෙසා අප විසින් සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCRM) මගින් ප්‍රකාශයට පත් කළ දත්ත පරිශීලනය කළාක් මෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශය (MOD) ඔස්සේද කරුණු විමසා බලා එම සංඛ්‍යාලේඛනයන් තහවුරු කර ගතිමු.

යුද්ධය අවසානයේදී හමුදාවන් විසින් පවරා ගත් උතුරේ සහ නැගෙනහිර ඉඩම්වලට රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම්ද අයත් වේ. සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2009 යුද්ධය අවසානයේ සිට 2015 ජනවාරි මස දක්වා කාලය තුළ අත්පත් කොටගත් පුද්ගලික ඉඩම්වලින් 68.0% ක් සහ අත්පත් කොටගත් රජයේ ඉඩම් වලින් 24.3% ක් හමුදාව විසින් නිදහස් කොට ඇති බවයි (වගුව 1 බලන්න). සමස්තයක් ලෙසින් ගත් විට අත් පත් කොටගෙන ඇති ඉඩම් අක්කර 118,253 කින් 35.2% ක් 2015 ජනවාරි වන විට නිදහස් කෙරී ඇත. උක්ත ප්‍රකාශය සැලකීමේදී ගෝඨාභය රාජපක්ෂ විසින් සඳහන් කරන්නේ පුද්ගලික ඉඩම් සම්බන්ධයෙන් පමණක් යැයි ගත්තද ඔහුගේ ප්‍රකාශයේ වන සංඛ්‍යාවන්ට වඩා නිල සංඛ්‍යාවන් ඇත්තේ පසුපසිනි.

මේ සමගින්ම ගෝඨාභය රාජපක්ෂ විසින්, යාපනය අර්ධද්වීපයේ මුදා හැරි පුද්ගලික ඉඩම් සම්බන්ධයෙන් තවදුරටත් සඳහන් කරයි. “යාපනය අර්ධද්වීපය ගෙන බැලුවහොත්, අප විසින් ඉඩම් 90% කට වැඩි ප්‍රමාණයක් ඒවායේ හිමිකරුවන්ට මුදා හැර තිබෙනවා.” මෙහිදී FactCheck.lk වෙත යාපනය අර්ධද්වීපයට පමණක් විශේෂිත දත්ත සොයාගැනීමට නොහැකි විණි. කෙසේ වෙතත් අපට ස්ථිර කර ගැනීමට හැකි වූයේ, යාපනය දිස්ත්‍රික්කයට විශේෂ වූ ඉඩම් නිදහස් කිරීමේ ගණනයන් (73%) සහ සමස්තයක් ලෙසින් උතුරු පළාතට විශේෂිත වූ ඉඩම් නිදහස් කිරීමේ ගණනයන් (69%) ගත් විට සමාන වන බවයි. මේ සියල්ලද ඇත්තේ රාජපක්ෂ විසින් ප්‍රකාශිත 90% ක ප්‍රමාණයට වඩා පසුපසිනි.

මෙසේ ගත් විට මින් පෙර රජය මගින් නිදහස් කළ ඉඩම් ප්‍රමාණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය ඔස්සේ නියම සංඛ්‍යාවන් වැඩි කොට දක්වා තිබේ. එනිසා එම ප්‍රකාශය සාවද්‍ය යැයි අපි දක්වමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: හමුදාවෙන් අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීම: 2009 මැයි – 2015 ජනවාරි

වැඩිදුර තොරතුරු

වගුව 2: හමුදාවෙන් අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීම: 2015 ජනවාරි – 2019 මාර්තු

 



මූලාශ්‍රය

  • සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (SCRM) නිල වෙබ් අඩවිය, නිදහස් කළ ඉඩම් 2009 – 2019′, මෙතැනින් ප්‍රවේශ වන්න: https://www.scrm.gov.lk/infographics?lightbox=dataItem-ju87cpj5 [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 22]
  • මුල් ප්‍රකාශය සඳහා මෙතැනින් ප්‍රවේශ වන්න: https://youtu.be/xpBIDDMYFTE?t=2207 (කාල සලකුණු – 35:54, 37:36)