තොරතුරු පිරික්සීම
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් කියැවෙන්නේ උන්වහන්සේ සිරගත කළ යුතු බවක් නොවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් ප්‍රකාශ කරන ලදි. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ බලපෑම අර්ථකථනය කරමින් පා.ම. විසින් පවසන ලද්දේ එමගින් ඥානසාර හිමි යළි සිරගත කිරීම අවශ්‍ය වන තත්ත්වයක් උදා නොවන බවයි.
මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පා.ම. දිලිත් ජයවීර සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව (සැප්තැම්බර් 10 දිනැති S.C.F.R. අයැදුම්පත් අංක 256/2019 සහ 257/2019, 2026) අධ්‍යයනය කරන ලදි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තීරණය වූයේ කුමක් ද?
එකල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඥානසාර හිමිට ලබා දුන් ජනාධිපති සමාව අත්තනෝමතික බවත්, මහජන විශ්වාසය සහ ස්වාභාවික යුක්තියේ නීති කඩකිරීමක් බවත් (2026 සැප්තැම්බර් 10 දින නිකුත් කරන ලද) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් තීන්දු කරන ලදි. එමෙන්ම, එම සමාව ලබා දුන් ආකාරය බලාතික්රමණයක් (ultra vires – යම් ක්‍රියාවක් කරන තැනැත්තාගේ නීතිමය බලයට හෝ අධිකාරියට ඔබ්බෙන් වූ) වන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය විසින් තීරණය කරන ලදි. ඒ අනුව, අධිකරණය විසින් එම ජනාධිපති සමාව “ශූන්‍ය සහ අවලංගු වන බවත්, ඊට කිසිදු බලයක් හෝ නීතිමය ක්‍රියාත්මක වීමේ හැකියාවක් නොමැති” බවත් ප්‍රකාශ කරන ලදි.
ජනාධිපති සමාවක් ශූන්‍ය සහ අවලංගු ලෙස ප්‍රකාශයට පත් කළ විට සිර දඬුවමකට සිදු වන්නේ කුමක් ද?
හිටපු ජනාධිපති සිරිසේන විසින් ලබා දුන් සමාවේ නීත්‍යනුකූලභාවය තීරණය කළ නඩුවේදී (අංක 256/2019 සහ 257/2019, 28-29 පිටු), ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද්දේ “34 (1) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලය මඟින් නිපුණ අධිකරණයක තීන්දුව හෝ දඬුවම වෙනස් කිරීමක් හෝ බැහැර කිරීමක් සිදු නොකරන නමුත්, සමාව ප්‍රකාශ කිරීමේදී නිශ්චිත කර ඇති ප්‍රමාණයට පමණක් වරදකරු දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් මුදා හැරීම සඳහා පමණක් ක්‍රියාත්මක වන” බවයි.
එම නිසා, 2019 වසරේදී ඥානසාර හිමිට ලබා දුන් ජනාධිපති සමාව මඟින් උන්වහන්සේ වරදකරු ලෙස නම් වීම හෝ වසර හයක සිර දඬුවම වෙනස් කිරීම හෝ බැහැර කිරීම කෙරෙහි බලපෑමක් එල්ල නොවිණ. එයින් සිදු වූයේ එම දඬුවමින් ඉතිරි කොටස විඳීමෙන් පමණක් උන්වහන්සේ නිදහස් කිරීමයි.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සමාව ශූන්‍ය සහ අවලංගු ලෙස ප්‍රකාශ කළ විට, උන්වහන්සේ දඬුවමින් ඉතිරි කොටස විඳීමෙන් මුදා හරිමින් එම සමාව ඉටු කළ කාර්යය ශූන්‍ය සහ අවලංගු බවට පත්වේ. මෙම තීන්දුව මඟින් සැබවින්ම ප්‍රතිස්ථාපනය වූයේ සමාව ලබා දීමට පෙර පැවති තත්ත්වයයි (status quo ante). ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමාව අවලංගු කරන බවට – එනම් නීතියේ බලයක් නොමැති බවට – ප්‍රකාශ කිරීමෙන් පසු, සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනු කිරීමට නීතිපතිවරයා ගත් පසුකාලීන පියවර මඟින් මෙය තවදුරටත් තහවුරු වේ.
සාරාංශයක් වශයෙන්, පා.ම. විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සමස්ත නීතිමය බලපෑම සාවාද්‍ය අයුරින් නිරූපණය කර ඇත. පා.ම.ගේ නිරූපණයට පටහැනිව, මෙම තීන්දුව මඟින් සමාව අවලංගු කරන ලද අතර, ඒ හරහා සමාව ලබා දීමට පෙර පැවති තත්ත්වය (status quo ante) යළි ස්ථාපිත විය. ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළ තම සිර දඬුවම විඳිය යුතු බව එයින් අවශ්‍ය විය.
එබැවින්, ඥානසාර හිමියන් සිරගත කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නොකියැවෙන්නේ යැයි යනුවෙන් අර්ථ නිරූපණය කරමින් පා.ම. විසින් සිදු කරන ලද ප්‍රකාශය වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.
*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
මූලාශ්‍රය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව (1978)
ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන ලබා දුන් ජනාධිපති සමාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව (2026.09.10 දින තීන්දු කරන ලද S.C.F.R. අයැදුම් පත් අංක: 256/2019 සහ S.C.F.R. අයැදුම් පත් අංක: 257/2019).