2025 ට අදාළ ශ්‍රී ලංකාවේ වෙළඳ දත්ත: චීනයට වගේම ඉන්දියාවටත් අංක 1 වෙළඳ හවුල්කරු වෙන්න පුළුවන් වන්නේ කොහොම ද??

FactCheck.lk විසින් සිදු කළ විග්‍රහයකි.

2026-06-15

2025 වසරේදී ඉන්දියාව අභිබවා චීනය ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරු බවට පත් වූ බවට චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක යූ ජිං කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් සන්තෝෂ් ජා විසින් 2026 මැයි මාසයේදී ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කරන ලදි.

යූ ජිං විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත උපුටා දක්වමින් චීන-ශ්‍රී ලංකා වෙළඳාමේ වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 5.5 ක් පමණ වන බව පෙන්වා දෙන ලදි. සන්තෝෂ් ජා ඉන්දියාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ඉන්දියා-ශ්‍රී ලංකා වෙළඳාමේ වටිනාකම එ.ජ. ඩොලර් බිලියන 6.4 ක් පමණ වන බව පෙන්වා දුන් අතර, ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරු වන බව ප්‍රකාශ කළේය.

රජයන් දෙකක්. දත්ත කට්ටල දෙකක්. එකම ප්‍රශ්නයට පිළිතුරු දෙකක්.

ඉහත එක් එක් කරුණ තහවුරු කරන දත්ත කට්ටලය හඳුනා ගැනීමත්, මෙම වාර්තා දෙක හරහා එකිනෙකට වෙනස් පිළිතුරු ලැබීමට හේතුවත්, ඉන්දීය-ශ්‍රී ලංකා වෙළඳ වාර්තාවල පවතින වෙනස පැහැදිලි කළ හැකි ආකාරයත් FactCheck.lk විසින් සිදු කරනු ලබන මෙම විග්‍රහය තුළින් විමසා බැලේ.

ප්‍රධාන නිගමනය: මෙම කරුණු දෙකම තාක්ෂණික වශයෙන් තහවුරු කළ හැකි නමුත්, ඒවා එකිනෙකට වෙනස්, එකිනෙකට සමගාමී නොවන දත්ත කට්ටල මත පදනම් වේ. ශ්‍රී ලංකාවේ වාර්තාවලට අනුව, 2025 වසරේදී චීනය ඉතා සුළු පරතරයකින් ඉන්දියාව අභිබවා ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරු බවට පත් වී ඇත. එහෙත්, හවුල්කාර රටවල (ඉන්දියාවේ සහ චීනයේ) වෙළඳ වාර්තා භාවිතා කළහොත් ඉන්දියාව තවදුරටත් ඉදිරියෙන් සිටී. මෙම දත්ත කට්ටල දෙක ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ එකී රටවල් විසින් එකිනෙකට වෙනස් ආකාරයට වාර්තා කරනු ලබන ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන කාණ්ඩ සුළු ප්‍රමාණයක් හේතුවෙනි. සියලුම ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සඳහා ශ්‍රී ලංකාවේ දත්ත එකම ක්‍රමවේදයක් අනුගමනය කරන බැවින්, සංසන්දනය සඳහා එය වඩාත් උචිත පදනම වේ. එම පදනම මත, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ “විශාලතම” වෙළඳ හවුල්කරු වූයේ චීනයයි.

ඉහත කී එක් එක් කරුණ තහවුරු කරන දත්ත මොනවා ද?

ඉන්දියාවේ සහ චීනයේ නියෝජිතයින් විසින් ඉහත සඳහන් පරිදි ඉදිරිපත් කරන ලද කරුණු ඔවුන් විසින් වෙන් වෙන් වශයෙන් උපුටා දක්වන ලද භාණ්ඩ වෙළඳාමට අදාළ දත්ත කට්ටල මගින් තහවුරු වේ. එබැවින් මෙය සංඛ්‍යාලේඛනවල නිවැරදි බව පිළිබඳ මතභේදයක් නොව, වෙළඳ සබඳතාව මැනීම සඳහා භාවිතා කරන්නේ කුමන සංඛ්‍යාලේඛන කාණ්ඩයද යන්න පිළිබඳව ඇති මතභේදයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකාවට පෙනෙන සහ ශ්‍රී ලංකා රේගුව හරහා ලියාපදිංචි වන පරිදි හවුල්කාර රටවල් සමඟ සිදු කරන අපනයන සහ ආනයන වාර්තා කරයි. අංක 1 වගුවෙහි දැක්වෙන පරිදි, 2025 වසරේදී චීනය සමඟ ශ්‍රී ලංකාවේ මුළු වෙළඳාම එ.ජ. ඩොලර් මිලියන 5,460 ක් වූ අතර ඉන්දියාව සමඟ මුළු වෙළඳාම එ.ජ. මිලියන 5,419 ක් විය. ඒ අනුව, ශ්‍රී ලංකාවේම වාර්තා භාවිතා කිරීමේදී, චීනය ඉන්දියාවට වඩා එ.ජ.ඩොලර් මිලියන 41 කින් පමණ ඉදිරියෙන් සිටී. 2025 වසරේදී චීනය ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරු බවට පත් වූ බවට යූ ජිං පැවසූ කරුණ මෙයින් තහවුරු වේ.

කෙසේ වෙතත්, එම වෙළඳ සබඳතාවම හවුල්කාර රටවල් වන ඉන්දියාවේ සහ චීනයේ බලධාරීන් විසින් ඔවුන්ගේ ආයතනවලට පෙනෙන සහ ඔවුන් විසින් ගණනය කරනු ලබන පරිදි ද වාර්තා කරනු ලැබේ. ඉන්දියාව සහ චීනය විසින් ශ්‍රී ලංකාව වෙත සිදු කරන ලද අපනයන සහ ශ්‍රී ලංකාවෙන් සිදු කරන ලද ආනයන ලෙස ඔවුන් වාර්තා කරන දත්ත මෙම හවුල්කාර රටවල වාර්තා මගින් ගණනය කරනු ලැබේ. අංක 1 වගුවෙන් දැක්වෙන පරිදි, මෙම පදනම මත ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ මුළු වෙළඳාම එ.ජ.ඩොලර් මිලියන 6,406 ක් වූ අතර චීනයේ මුළු වෙළඳාම එ.ජ.ඩොලර් මිලියන 6,187 ක් විය. එබැවින්, හවුල්කාර රටවල වාර්තා භාවිතා කිරීමේදී, ඉන්දියාව චීනයට වඩා එ.ජ.ඩොලර් මිලියන 219 කින් පමණ ඉදිරියෙන් සිටියේය. 2025 වසරේදී ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරු වූයේ ඉන්දියාව වන බවට සන්තෝෂ් ජා සඳහන් කළ කරුණ මෙයින් තහවුරු වේ.

මූලාශ්‍ර: ‍ශ්‍රී ලංකා මහ බැංකුව, 2025 වාර්ෂික ආර්ථික සමාලෝචනය; ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ සිතියම, https://www.trademap.org/, ඉන්දියාවේ වාණිජ දෙපාර්තමෙන්තුව, https://tradestat.commerce.gov.in/meidb/country_wise_all_commodities_export

වාර්තා දෙකෙහි සංඛ්‍යාලේඛන එකිනෙකට වෙනස් වන්නේ ඇයි?

න්‍යායාත්මකව, ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට සහ චීනයට සිදු කරනු ලබන අපනයන පිළිබඳ දත්ත, ඉන්දියාවේ සහ චීනයේ දත්තවල ශ්‍රී ලංකාවෙන් සිදු කළ ආනයන ලෙස පිළිබිඹු විය යුතුය. ඉන්දියාවෙන් සහ චීනයෙන් සිදු කරනු ලබන ආනයන සම්බන්ධයෙන් ද එය එසේම විය යුතුය. එහෙත් ප්‍රායෝගිකව එහි වෙනස්කම් පවතින අතර, ජාත්‍යන්තර වෙළඳ සංඛ්‍යාලේඛනවලදී මේවා mirror-data asymmetries (සමගාමී දත්ත අසමමිතිය) ලෙස හැඳින්වේ.

සමගාමී දත්ත අසමමිතිය ඇති වීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් පහත දැක්වේ:

  1. ඇගයීමේ වෙනස්කම්: ආනයන සාමාන්‍යයෙන් වාර්තා කරනු ලබන්නේ පිරිවැය, රක්ෂණය සහ ප්‍රවාහන ගාස්තු (Cost, Insurance and Freight) පදනම මත වන අතර එය CIF ලෙස හැඳින්වේ. මෙයට භාණ්ඩයේ වටිනාකම මෙන්ම ප්‍රවාහන හා රක්ෂණ වියදම් ද ඇතුළත් වේ. අපනයන සාමාන්‍යයෙන් වාර්තා කරනු ලබන්නේ ‘නැව තෙක් නොමිලේ’ (Free on Board) පදනම මත වන අතර එය FOB ලෙස හැඳින්වේ. මෙයට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ප්‍රවාහන හා රක්ෂණ වියදම් ඇතුළත් නොවේ. මේ හේතුව නිසා, එක් රටක් විසින් වාර්තා කරනු ලබන ආනයන වටිනාකම හවුල්කාර රට විසින් වාර්තා කරනු ලබන අපනයන වටිනාකමට වඩා වැඩි විය හැකිය. ලෝක බැංකුවේ ලෝක වෙළඳාම පිළිබඳ මාර්ගෝපදේශවලට (World Integrated Trade Solution – WITS) අනුව, මෙලෙස සමගාමී අපනයන සහ ආනයන වටිනාකම් අතර 10% සිට 20% දක්වා වෙනසක් ඇති විය හැක.
  2. කාලය පිළිබඳ වෙනස්කම්: එකම භාණ්ඩ තොගය රටවල් දෙක විසින් එකිනෙකට වෙනස් වර්ෂ යටතේ වාර්තා කරනු ලැබිය හැක. උදාහරණයක් ලෙස, අපනයනය කරන රට විසින් දෙසැම්බර් මාසයේදී භාණ්ඩ නැව්ගත කරන විට එය වාර්තා කළ හැකි අතර, ආනයනය කරන රට විසින් එම භාණ්ඩ ජනවාරි මාසයේදී ලැබුණු පසු වාර්තා කළ හැක.
  3. තුන්කොන් වෙළඳාම: අපනයනය කරන සහ ආනයනය කරන රටවල් අතර සෘජුවම නැව්ගත කිරීමට නියමිත භාණ්ඩ, අතරමැදි රටක් හරහා අලෙවි කළ හැක. මෙහිදී අපනයනය කරන හෝ ආනයනය කරන රට විසින් භාණ්ඩයේ සැබෑ ප්‍රභවය හෝ ගමනාන්තය වෙනුවට අතරමැදි රට වෙළඳ හවුල්කරු ලෙස වාර්තා කිරීමට ඉඩ ඇත.
  4. තාවකාලික සංචලනයන්: අලුත්වැඩියාවන්, නඩත්තුව, කල්බදු ලබා ගැනීම, ප්‍රදර්ශන, වෙළඳ ප්‍රදර්ශන සඳහා හෝ ආපසු එවන ලද භාණ්ඩ ලෙස ඇතැම් භාණ්ඩ තාවකාලිකව දේශසීමා හරහා ගමන් කරයි. විවිධ රටවල් තම වෙළඳ සංඛ්‍යාලේඛනවලදී මෙම භාණ්ඩවල සංචලනය ගණනය කරන ආකාරය එකිනෙකට වෙනස් විය හැක. එක් රටක් මෙම සංචලනය වෙළඳාමක් ලෙස වාර්තා කරන විට, අනෙක් රට එය සාමාන්‍ය භාණ්ඩ වෙළඳාමට අයත් නොවන්නක් ලෙස සැලකිය හැක. භාණ්ඩ අලුත්වැඩියාව සඳහා යොමු කරන අවස්ථාවලදී, එක් රටක් භාණ්ඩයේ සම්පූර්ණ වටිනාකම භාණ්ඩ වෙළඳාමක් ලෙස වාර්තා කරනවා වෙනුවට එහි අලුත්වැඩියා පිරිවැය පමණක් සේවා අපනයනයක් ලෙස වාර්තා කළ හැක.

හවුල්කාර රටවල දත්ත ශ්‍රී ලංකාවේ දත්තවලින් වෙනස් වන්නේ කෙසේ ද?

මෙම රටවල් අතර ආනයන හා අපනයන දත්ත යන දෙකෙහිම ‌වෙනස්කම් දක්නට ලැබේ. ඉන්දියාව සහ චීනය විසින් ශ්‍රී ලංකාවට අදාළවවාර්තා කර ඇති අපනයන අගයන්ට වඩා අඩු ආනයන අගයක් ශ්‍රී ලංකාව එම රටවලට අදාළව වාර්තා කරයි. දත්ත ගණනය කිරීමේදී දක්නට ලැබෙන විශාලතම විෂමතාව පවතින්නේ ශ්‍රී ලංකාවෙන් සිදු කළ අපනයන සඳහා ශ්‍රී ලංකාව විසින්ම වාර්තා කර ඇති දත්තවලය.  

ඉන්දියාව සම්බන්ධයෙන් ගත් කළ, ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉන්දියාව වෙත එ.ජ.ඩොලර් මිලියන 1,041 ක අපනයන වාර්තා කර ඇත. ඊට හාත්පසින් වෙනස් ලෙස, ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් සිදු කළ ආනයන ලෙස එ.ජ.ඩොලර් මිලියන 1,532 ක් වාර්තා කර තිබේ. මෙයින් අදහස් කරන්නේ, ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් සිදු කරන ලද ආනයනවලට අදාළව වාර්තා කර ඇති අගයට වඩා එ.ජ.ඩොලර් මිලියන 491 ක් අඩු අපනයන අගයක් ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට අදාළව වාර්තා කර ඇති බවයි (චීනය සමඟ පවතින අපනයන විෂමතා සඳහා අතිරේක සටහන 1 බලන්න).

භාණ්ඩ වශයෙන් ගත් විට මෙම එ.ජ.ඩොලර් මිලියන 491 ක පරතරයෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් සංකේන්ද්‍රණය වී තිබුණේ පහත සඳහන් HS කේත (හාර්මොනයිස් කරන ලද භාණ්ඩ විස්තරය සහ කේතීකරණ පද්ධතිය) පහ යටතේය: ප්‍රදීපාගාර නෞකා, මඩ ඉවත් කරන නෞකා (dredgers), පාවෙන දොඹකර සහ ඒ හා සමාන යාත්‍රා (HS 8905), යුද නැව් සහ ජීවිතාරක්ෂක බෝට්ටු ඇතුළු අනෙකුත් යාත්‍රා (HS 8906), බලගන්වන ලද ගුවන් යානා (HS 8802), විනෝද චාරිකා බෝට්ටු සහ ඒ හා සමාන යාත්‍රා (HS 8901), සහ ටග් යාත්‍රා (HS 8904). මෙම කේත පහෙන් හතරක් යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ආනයන වාර්තා කර තිබූ නමුත්, ශ්‍රී ලංකාව ඊට සමගාමීව ඉන්දියාව වෙත අපනයන වාර්තා කර නොතිබිණි. HS 8901 කේතය යටතේ ඉන්දියාව එ.ජ.ඩොලර් මිලියන 135 ක් වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාව ඒ යටතේ ඉන්දියාවට සිදු කරන ලද අපනයන වශයෙන් වාර්තා කර තිබුණේ එ.ජ.ඩොලර් මිලියන 0.2 ක් පමණි. අවම වශයෙන් පසුගයි වසර තුනට හෝ අදාළව මෙවැනි ප්‍රවනතාවක් නිරීක්ෂණය වූ බව අතීත දත්ත මගින් පෙනී යයි.

මෙයට දිය හැකි වඩාත්ම පිළිගත හැකි පැහැදිලි කිරීම නම්, ආපසු ඉන්දියාවට යාමට පෙර අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම හෝ සේවාකරණය (servicing) යඳහා ඉන්දියානු යාත්‍රා හෝ ගුවන් යානා ශ්‍රී ලංකාවට එවීම වැනි තාවකාලික සංචලනයන් මීට ඇතුළත් වන බවයි. මෙම විෂමතාවට හේතුව නොපෙනේ. එහෙත්, ඉන්දියාව මෙය “භාණ්ඩ” වෙළඳාමක් වශයෙන් වාර්තා කරද්දී ශ්‍රී ලංකාව ඇතැම් විට මෙය “භාණ්ඩ” නොව “සේවා” ආශ්‍රීත වෙළඳාමක් වශයෙන් සලකන්නට ඇතැයි සිතිය හැක.

නිගමනය

ඉහත විග්‍රහයට අනුව, ශ්‍රී ලංකාවේ දත්ත සැලකූ විට චීනය ප්‍රථම ස්ථානය හිමි කරගන්නා බවත්, හවුල්කාර රටවල දත්ත සැලකූ විට ඉන්දියාව එම ස්ථානය හිමිකරන්නා බවත් පැවසීම නිරවද්‍ය වේ.  සමගාමී දත්ත අසමමිතිය හේතුවෙන් මෙම කරුණු දෙකම කිසියම් ආකාරයකට තහවුරු වේ.

කෙසේ වෙතත්, මෙම කරුණු දෙක එකිනෙකට සාපේක්ෂව ඇගයීමේදී, ශ්‍රී ලංකාවේම දත්ත යොදා ගැනීම වඩාත් උචිත පදනම වේ. ඉහත සාකච්ඡා කළ සමගාමී දත්ත අසමමිතිය මගින් පැහැදිලි වන පරිදි, හවුල්කාර රටවල් එකම වෙළඳ ප්‍රවාහයන් සඳහා විවිධ සංඛ්‍යාලේඛන ප්‍රමිතීන් අනුගමනය කිරීමට ඉඩ ඇත.එහෙත්, ශ්‍රීලංකාවේ දත්ත මගින් සියලුම ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සඳහා එකම ක්‍රමවේදයක් අනුගමනය කරන බැවින්, සංසන්දනය කිරීම සඳහා එය වඩාත් ස්ථාවර පදනමක් සපයයි.

එම පදනම මත, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ “විශාලතම” වෙළඳ හවුල්කරු වූයේ චීනයයි. මන්දයත්, ඉන්දියාව සමඟ සිදු කළ මුළු වෙළඳාමට වඩා චීනය සමඟ සිදු කළ මුළු වෙළඳාම සුළු වශයෙන් ඉහළ අගයක් ගත් බව ශ්‍රී ලංකාවේ දත්ත පෙන්වා දෙන බැවිනි.

*හාර්මොනයිස් කරන ලද භාණ්ඩ විස්තරය සහ කේතීකරණ පද්ධතිය (Harmonised System) යනු වෙළඳාම් කරනු ලබන නිෂ්පාදන වර්ගීකරණය කිරීම සඳහා වූ ප්‍රමිතිගත සංඛ්‍යාත්මක ක්‍රමයකි. තීරු බදු නියම කිරීම සහ සංඛ්‍යාලේඛන රැස් කිරීම වැනි අරමුණු සඳහා ලොව පුරා රටවල් විසින් නිෂ්පාදන එකම ආකාරයට නම් කිරීමටත්, ඒ පිළිබඳව විස්තර කිරීමටත් මෙය භාවිතා කරනු ලැබේ.

අතිරේක සටහන 1: ශ්‍රී ලංකාව චීනය සමඟ සිදු කර ඇති වෙළෙඳ දත්තවල ද අපනයන වාර්තා කිරීමේදී විෂමතා දක්නට ලැබේ. 2025 වසරේදී, ශ්‍රී ලංකාව චීනය වෙත එ.ජ.ඩොලර් මිලියන 299 ක අපනයන වාර්තා කර ඇති අතර, චීනය ශ්‍රී ලංකාවෙන් එ.ජ.ඩොලර් මිලියන 433 ක ආනයන වාර්තා කර ඇත. ඒ අනුව, චීනය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ බවට වාර්තා කර ඇති අගයට වඩා එ.ජ.ඩොලර් මිලියන 134 ක අඩු අපනයන අගයක් ශ්‍රී ලංකාව විසින් චීනයට අදාළව වාර්තා කර තිබේ.

නිෂ්පාදිත මට්ටමින් ගත් කල, මෙම වෙනස සඳහා හේතුව වශයෙන් නැවත නැවතත් මතු වන ප්‍රධාාන සාධකය වන්නේ වටිනා ගල් (HS 7103) ය. පසුගිය වසර පහක කාලය තුළ, ශ්‍රී ලංකාව විසින් චීනය වෙත අපනයනය කළ බවට වාර්තා කර ඇති අගයට වඩා වැඩි ආනයන අගයක් චීනය විසින් ශ්‍රී ලංකාවෙන් ලබා ගත් වටිනා ගල් සඳහා අඛණ්ඩව වාර්තා කර ඇත. 2025 වසරේදී පමණක්, වටිනා ගල් සඳහා ශ්‍රී ලංකාව චීනයට අදාළව වාර්තා කර ඇති අපනයන අගය, චීනය ශ්‍රී ලංකාවට අදාළව වාර්තා කර ඇති ආනයන අගයට වඩා එ.ජ.ඩෙලාර් මිලියන 57 කින් අඩු විය.

ඊට සමාන, නමුත් වඩා කුඩා පරතයරන් වෙනත් නිෂ්පාදිත කාණ්ඩවල ද දක්නට ලැබේ. ටී-ෂර්ට් සහ බැනියම් (HS 6109), විදුලි ට්‍රාන්ස්ෆෝමර (HS 8504) සහ වෙනත් ස්ථානයක නිශ්චිතව දක්වා නොමැති එළවළු නිෂ්පාදිත (HS 1404) ඊට ඇතුළත් වේ. මෙම කේත යටතේ ද, ශ්‍රී ලංකාව චීනයට අදාළව වාර්තා කළ අපනයන වටිනාකම්වලට වඩා වැඩි ආනයන වටිනාකම් චීනය විසින් ශ්‍රී ලංකාවට අදාළව වාර්තා කර ඇත.

මූලාශ්‍ර:

ශ්‍රීලංකා මහ බැංකුව (CBSL), 2025 වාර්ෂික ආර්ථික සමාලෝචනය: සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය. යොමුව: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/aer/2025/en/30_Statistical_Appendix.pdf ප්‍රවේශය: 2026 මැයි 19.

ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC), වෙළඳ සිතියම (Trade Map): ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය සඳහා වූ වෙළඳ සංඛ්‍යාලේඛන. රටවල් සහ පාලන ප්‍රදේශ 200 කට අධික සංඛ්‍යාවක නිෂ්පාදන කාණ්ඩ අනුව ඊට අදාළ ආනයන සහ අපනයන සංඛ්‍යාලේඛන Trade Map මගින් සපයන බව ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) ප්‍රකාශ කරයි. ප්‍රවේශය: 2026 මැයි 19.

ශ්‍රීලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), මාර්ගගත වෙළඳ සංඛ්‍යාලේඛන පද්ධතිය. ශ්‍රී ලංකා රේගුවෙන් ලබාගත් දත්ත ඇසුරින් ශ්‍රී ලංකාවේ අපනයන සහ ආනයන වෙළඳ දත්ත, ප්‍රධාන අපනයන සහ ආනයන වෙළඳපොළවල් සහ ඒ හා සම්බන්ධ වෙළඳ තොරතුරු තම මාර්ගගත පද්ධතිය මගින් සපයන බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ප්‍රකාශ කරයි. ප්‍රවේශය: 2026 මැයි 19.

ලෝක බැංකුව, World Integrated Trade Solution: එක්සත් ජාතීන්ගේ Comtrade දත්ත සමඟ ආනයන, අපනයන සහ සමගාමී දත්ත. CIF/FOB පිළිබඳ පැහැදිලි කිරීම සහ 10% සිට 20% දක්වා වූ සමගාමී දත්ත අතර වෙනස මෙයින් තහවුරු වේ. ලබාගත හැකි ස්ථානය: https://wits.worldbank.org/wits/wits/witshelp/content/data_retrieval/T/Intro/B2.Imports_Exports_and_Mirror.htm ප්‍රවේශය: 2026 මැයි 19.

එක්සත් ජාතීන්ගේ Comtrade, ද්විපාර්ශ්වික අසමමිතිය විශ්ලේෂණය කිරීම සහ අවම කිරීම පිළිබඳ මාර්ගෝපදේශ. කාලය, හවුල්කාර ආරෝපණය, ප්‍රත්‍යාපනයන (re-exports), වෙළඳ නියෝජිත කටයුතු (merchanting) සහ ද්විපාර්ශ්වික අසමමිතියට හේතු වන මූලාශ්‍ර පිළිබඳ පැහැදිලි කිරීම මෙයින් තහවුරු වේ. යොමුව https://comtradeapi.un.org/files/v1/app/wiki/Guidelines_on_Analyzing_and_Reducing_Bilateral_Asymmetry-23_Apr_2019.pdfප්‍රවේශය: 2026 මැයි 19.

යුරෝස්ටැට් (Eurostat), නවකයින් සඳහා: භාණ්ඩ, නිෂ්පාදන සහ හවුල්කරුවන් අතර වෙළඳාම. නිෂ්පාදන වර්ගීකරණය, හවුල්කාර රටවල් වාර්තා කිරීම සහ වෙළඳ සංඛ්‍යාලේඛනවල අසමමිතිය පිළිබඳ පැහැදිලි කිරීම මෙයින් තහවුරු වේ. යොමුව: https://ec.europa.eu/eurostat/statistics-explained/index.php?title=Beginners%3ATrade_in_goods_-_products_and_partners ප්‍රවේශය: 2026 මැයි 19.

ඉන්දීය රජය, වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව(2026) ඉන්දියාවේ මාසික වෙළඳාම පිළිබඳ පද්ධතිය: අපනයන, රටවල් අනුව සියලුම වෙළඳ භාණ්ඩ. යොමුව: https://tradestat.commerce.gov.in/meidb/country_wise_all_commodities_export (ප්‍රවේශය: 2026 මැයි 22).

This post is also available in: English සිංහල