අවුල් ජාලයක් වුණු ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ගැන සරලව
2026-07-03
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පිළිබඳව බොහෝ විට සාකච්ඡා කරනු ලබන්නේ එක් ප්‍රධාන අගයක් මුල් කරගෙන ය: එනම් දළ නිල සංචිතයි. එම අගය වැදගත් වන නමුත්, ඉන් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ අදහසක් නොලැබේ. ඒ පිළිබඳ සම්පූර්ණ අදහසක් ලබා ගැනීමට නම් ශුද්ධ සංචිත පිළිබඳව ද අපට අවබෝධයක් තිබිය යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති හෝ එමගින් පාලනය කරනු හෝ ලබන විදේශ ව්‍යවහාර මුදල් වත්කම් දළ සංචිත මගින් පෙන්වා දෙයි. ශුද්ධ සංචිත මගින් මීට අමතරව වෙනත් ප්‍රශ්නයක් ද විමසනු ලැබේ: එනම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආපසු ගෙවිය යුතු විදේශ ව්‍යවහාර මුදල් වගකීම් අඩු කිරීමෙන් පසුව, මෙම සංචිතයෙන් කොපමණ ප්‍රමාණයක් ඉතිරි ව පවතී ද යන්නයි.
සරල ගෘහස්ථ උදාහරණයක් මෙම වෙනස පැහැදිලි කර ගැනීම පහසු කරයි. නිවසක හදිසි අරමුදලේ එ.ජ.ඩොලර් 100 ක් ඇති නමුත් ඉන් එ.ජ.ඩොලර් 80 ක් ණයට ගත් මුදලක් වන අතර එය නුදුරු අනාගතයේ දී ආපසු ගෙවිය යුතු යැයි උපකල්පනය කරමු. එම නිවැසියන්ට අද දවසේ වුව ද අදාළ එ.ජ.ඩොලර් 100 භාවිතා කළ හැක. නමුත්, එ.ජ.ඩොලර් 100 ක සම්පූර්ණ මුදලම ඔවුන්ගේ ස්වාරක්ෂක සංචිතය ලෙස සැලකීම නොමඟයවනසුළු ය, මන්ද යත්, ඉන් වැඩි ප්‍රමාණයක් ආපසු ගෙවීමේ වගකීමකට යටත් වන බැවිනි. මෙහිදී වඩාත් අදාළ වන ප්‍රශ්නය වන්නේ ගිණුමේ කොපමණ මුදලක් තිබේ ද යන්න පමණක් නොව, නුදුරු අනාගතයේ දී ආපසු ගෙවිය යුතු මුදල අඩු කිරීමෙන් පසුව කොපමණ මුදලක් ඉතිරි වේ ද යන්නයි.
ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම පැහැර හැරීමට ආසන්න පෙරාතු කාල පරිච්ඡේදය තුළ දී මෙම වෙනස ඉතා වැදගත් විය. ණය පැහැර හැරීමට මාස හතරකට පෙර, එනම් 2021 දෙසැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ දළ සංචිත එ.ජ.ඩොලර් බිලියන 3.1 ක් ලෙස වාර්තා විය. නමුත් විදේශ ව්‍යවහාර මුදල් වගකීම් අඩු කළ පසු, ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ සංචිත බිංදුවට වඩා අඩු මට්ටමක, එනම් සෘණ එ.ජ.ඩොලර් බිලියන 0.4 ක් වශයෙන් පැවතිණි (අංක 2 වගුව බලන්න). කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ශුද්ධ සංචිත අඛණ්ඩව පහත වැටෙමින් තිබියදීත්, 2022 ජනවාරි මාසයේ දී එවකට සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දළ සංචිත පෙන්වා දෙමින් සංචිත තත්ත්වය “ස්ථායී” බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. දළ සංචිත පමණක් සඳහන් කිරීම නොමඟ යවනසුළු වන්නේ මන්දැයි මින් මනාව තහවුරු වේ.
මෙම ගැටලුවම වත්මන් ප්‍රතිපත්තිමය විවාදයන් සඳහා ද අදාළ වේ. ප්‍රසිද්ධියේ සිදු කරනු ලබන ප්‍රකාශ සහ මාධ්‍ය වාර්තා බොහෝ විට ‘ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ’ සාක්ෂියක් ලෙස වර්ධනය වන දළ නිල සංචිත පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ, සංචිත ඉලක්කය අධීක්ෂණය කරනු ලබන්නේ දළ සංචිත මත පදනම්ව නොව ශුද්ධ ජාත්‍යන්තර සංචිත මත පදනම්ව ය. අංක 2 වගුවේ ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත දත්ත පෙන්නුම් කරන පරිදි, ශුද්ධ ජාත්‍යන්තර සංචිත (Net International Reserves – NIR) 2022 දෙසැම්බර් සහ 2023 දෙසැම්බර් යන කාලවලදී සෘණ අගයක් ගෙන ඇති අතර 2024 වසරේ දී එය ධන අගයක් බවට පත් වී ඇත. මෙහි අර්ථය වන්නේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම රඳා පවතින්නේ දළ සංචිත ඉහළ යන්නේ ද යන්න මත පමණක් නොව, යම් කිසි රටක් සිය ශුද්ධ සංචිත නැවත ගොඩනඟමින් සිටින්නේ ද යන්න මත ද බවයි. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සාකච්ඡාවේ දී සහ 2025 නොවැම්බර් 10 වන දින එම කාරක සභාවේ සභාපතිවරයා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අවධාරණ කළ ගැටලුව වූයේ ද මෙයයි.
මෙම පසුබිම යටතේ, මෙම FactCheck.lk විග්‍රහය ප්‍රධාන කොටස් තුනකින් යුතුව ඉදිරිපත් කෙරේ. පළමුව, ජාත්‍යන්තර සංචිත යනු කුමක් ද යන්නත්, එහි ඇති වැදගත්කමත් මෙයින් පැහැදිලි කෙරේ. දෙවනුව, දළ ජාත්‍යන්තර සංචිත සහ ශුද්ධ ජාත්‍යන්තර සංචිත අතර වෙනස එමගින් පැහැදිලි කරනු ලැබේ. තෙවනුව, එකම කාල පරිච්ඡේදයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් එකිනෙකට වෙනස් ශුද්ධ ජාත්‍යන්තර සංචිත අගයන් වාර්තා කිරීමට හේතුව මේ තුළින් පැහැදිලි කෙරේ.
- ජාත්‍යන්තර (විදේශ) සංචිත වැදගත් වන්නේ ඇයි?
ජාත්‍යන්තර සංචිත යනු කිසියම් රටක මූල්‍ය අධිකාරියකට (ශ්‍රී ලංකා මහ බැංකුවට) ලෝකයේ වෙනත් රටවල් වෙත ගෙවීම් සිදු කිරීමට හෝ ඒ සඳහා සහය දැක්වීමට හෝ අවශ්‍ය වූ විට භාවිතා කළ හැකි විදේශ ව්‍යවහාර මුදල් වත්කම් සහ ජාත්‍යන්තරව පිළිගත් වෙනත් සංචිත වත්කම් වේ. අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීම් සිදු කිරීම සහ බාහිර ණය සේවාකරණය වැනි විදේශ ව්‍යවහාර මුදල් ගෙවීම් පියවීම සඳහා ඒවා භාවිතා කරනු ලැබේ. රුපියල්වලින් ආදායම් ලබන රජයට හෝ පෞද්ගලික අංශයට ඩොලර්වලින් ජාත්‍යන්තර ගෙවීම් කිරීමට සිදු වූ විට සහ ඔවුන්ගේ අරමුදල් ප්‍රමාණවත් නොවන විට, ඔවුන්ට මෙම සංචිත භාවිතා කළ හැක: ඔවුන්ට තම රුපියල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ජාත්‍යන්තර පාර්ශ්ව වෙත ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගත හැක.
ප්‍රායෝගිකව ගත් කළ, ශ්‍රී ලංකාවේ 2022 අර්බුදය යනු මෙවැනි විදේශ ව්‍යවහාර මුදල් අවසන් වීමේ අර්බුදයකි. සමස්තයක් ලෙස ආර්ථිකයට—විශේෂයෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත හිමිකම්වලට—රජයට සහ වෙනත් පාර්ශ්වයන්ට ඔවුන්ගේ ජාත්‍යන්තර ගෙවීම් සිදු කිරීම සඳහා සැපයීමට ප්‍රමාණවත් ඩොලර් නොතිබිණි.
විදේශ ගලා ඒම් දුර්වල වී විදේශ ව්‍යවහාර මුදල්වල තාවකාලික හිඟයක් ඇති වූ විට, අත්‍යවශ්‍ය ආනයන සහ බාහිර ණය සඳහා අඛණ්ඩව ගෙවීම් කිරීමට රටට ප්‍රමාණවත් විදේශ ව්‍යවහාර මුදල් ස්වාරක්ෂකයක් තිබේ ද යන්න පෙන්නුම් කරන බැවින් සංචිත පිළිබඳ දත්ත වැදගත් වේ. බාහිර පීඩනයන් (external pressure) ලෙස හැඳින්වෙන්නේ මෙවැනි ආකාරයේ තත්ත්වයන් වේ.
2. දළ සංචිත සහ ශුද්ධ සංචිත: වෙනස කුමක් ද?
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත සාමාන්‍යයෙන් පුළුල් මිනුම් දෙකක් භාවිතා කරමින් විශ්ලේෂණය කරනු ලැබේ: එනම්, දළ ජාත්‍යන්තර සංචිත (Gross International Reserves – GIR) සහ ශුද්ධ ජාත්‍යන්තර සංචිත (Net International Reserves – NIR) වශයෙනි.
දළ ජාත්‍යන්තර සංචිත යනු, සංචිතවලට අදාළ ආපසු ගෙවීමේ වගකීම් අඩු කිරීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව සතු සහ එමගින් පාලනය කරනු ලබන සංචිත වත්කම් වේ. ද්‍රවශීල (වියදම් කළ හැකි) සහ ඕනෑම විදේශ ව්‍යවහාර මුදලකට පරිවර්තනය කළ හැකි වත්කම් දළ ජාත්‍යන්තර සංචිත සඳහා ඇතුළත් කරනු කරනු ලැබේ. (විදේශ ව්‍යවහාර මුදල් හා තැන්පතු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත තත්ත්වය, විශේෂ ගැණුම් හිමිකම් (SDR) සහ ශ්‍රී ලංකා මහ බැංකුව සතු මූල්‍ය රන් සාමාන්‍යයෙන් මීට ඇතුළත් වේ).
ශුද්ධ ජාත්‍යන්තර සංචිත යනු ණය සහ හුවමාරු ගනුදෙනු (swaps) වැනි තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල් වගකීම් දළ ජාත්‍යන්තර සංචිත වෙතින් අඩු කිරීමෙන් පසුව ඉතිරි වන සංචිත වත්කම් වේ. වඩාත් සරලව කිවහොත්, දළ සංචිත වත්කම්වලින් විදේශ ව්‍යවහාර මුදල් වගකීම් අඩු කළහොත් ඉතිරි වන සැබෑ ස්වාරක්ෂකය (හෝ කෙටිකාලීන පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාව) කොපමණ ද යන ප්‍රශ්නය ශුද්ධ ජාත්‍යන්තර සංචිත තුළින් විමසා බැලේ.
රටක මූලික අවදානම ඉහළ මට්ටමක පවතින විට පවා දළ සංචිත ඉහළ යා හැක. විශේෂයෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ ව්‍යවහාර මුදල් ණයට ගැනීම හරහා සංචිත ගොඩනඟා ගන්නේ නම් මෙය සිදු විය හැක. මෙය ණයක් ගැනීමෙන් ඉතුරුම් ගිණුමක ශේෂය වැඩි කර ගැනීමට සමාන වේ: ඉලක්කම විශාල ලෙස පෙනුන ද, කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව ඉන් ඉහළ ගොස් නැත.
එබැවින්, පීඩනකාරී තත්ත්වයක් යටතේ වුව ද කිසියම් රටකට සිය බාහිර වගකීම් අඛණ්ඩව ඉටු කළ හැකි ද යන්න තක්සේරු කිරීමේ දී නිවැරදි චිත්‍රයක් ලබා දෙන්නේ ශුද්ධ සංචිත මිස දළ සංචිත නොවේ.
- එකම කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශුද්ධ ජාත්‍යන්තර සංචිත සඳහා එකිනෙකට වෙනස් සංඛ්‍යා වාර්තා කරන්නේ ඇයි?
වැදගත් වන්නේ ශුද්ධ ජාත්‍යන්තර සංචිත බැවින් එය ගණනය කරනු ලබන සහ වාර්තා කරනු ලබන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශුද්ධ ජාත්‍යන්තර සංචිත ගණනය කිරීම සඳහා වෙනස් ක්‍රම දෙකක් භාවිතා කරන බව මෙහිදී පෙනී ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගණනය කිරීමට ඇතුළත් නොකරන, නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇතුළත් කරනු ලබන විදේශ මුදල් ආශ්‍රිත වගකීම් කිහිපයකි. ඔවුන් වාර්තා කරන ශුද්ධ ජාත්‍යන්තර සංචිත අගයන් එකිනෙකට වෙනස් වීමට හේතුව මෙයයි.
පහත දැක්වෙන අංක 1 වගුව මගින් මෙම වෙනස සාරාංශගත කර ඇත. ප්‍රවේශයන් දෙකෙහිදීම එක හා සමාන විදේශ මුදල් වත්කම් බොහොමයක් ගණනය කිරීමට ඇතුළත් කරන බවත්, ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි බැංකුවලට (අනේවාසික) ගෙවිය යුතු විදේශ මුදල් වගකීම් අඩු කරනු ලබන බවත් එයින් පෙන්නුම් කෙරේ. මෙහි ඇති එකම වෙනස වන්නේ, ශ්‍රී ලංකාව තුළ පිහිටි බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවිය යුතු විදේශ මුදල් වගකීම් (5 වැනි ප්‍රභේදය) එමගින් සලකා බැලෙන ආකාරයයි.
අංක 1 වගුව: ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශුද්ධ ජාත්‍යන්තර සංචිත ගණනය කරන ආකාරයේ පවතින වෙනස්කම් පිළිබඳ සාරාංශය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන වාර්තාකරණ සම්මුතිය (නේවාසිකත්වය මත පදනම් වූ ප්‍රවේශය) යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි බැංකුවකට විදේශ මුදල් ගෙවිය යුතු නම්, එම වගකීම බාහිර වගකීමක් ලෙස සලකා සංචිතවලින් අඩු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ පිහිටි බැංකුවකට විදේශ මුදල් ගෙවිය යුතු නම්, එම වගකීම දේශීය වගකීමක් ලෙස සලකනු ලබන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ ජාත්‍යන්තර සංචිත ගණනය කිරීමේදී එය අඩු කරනු නොලැබේ. සිය වත්කම් වාර්තා කිරීමේදී ද මහ බැංකුව විසින් මෙම ප්‍රවේශයම අනුගමනය කෙරේ.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන විසින් ද ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත ගණනය කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරනු ලබන නමුත්, එහිදී තවත් එක් අඩු කිරීමක් සිදු කරනු ලබයි. එනම්, නේවාසික බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවිය යුතු විදේශ මුදල් වගකීම් එහිදී අඩු කරනු ලැබේ.
මෙම මිනුම් දෙක අතරින් අප නිවැරදි මිනුම තීරණය කරන්නේ කෙසේ ද?
මීට පිළිතුර රඳා පවතින්නේ නේවාසික බැංකු සතුව පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් වත්කම්වල ප්‍රමාණය මතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරන ආකාරයට විදේශ ව්‍යවහාර මුදල් වගකීම් ද ගණනය කිරීමට ඇතුළත් කරන්නේ නම්, ශුද්ධ ජාත්‍යන්තර සංචිතවලට (NIR) අදාළ මූලධර්මය (එනම්, වත්කම්වලින් වගකීම් අඩු කිරීම) පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීම සඳහා නේවාසික බැංකුවල තැන්පත් කර ඇති විදේශ ව්‍යවහාර මුදල් වත්කම්ද ගණනය කිරීම අවශ්‍ය වේ. නමුත් ශ්‍රී ලංකාවේ වර්තමානයේදී ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් එැවන්නක් සිදු නොකෙරේ.
එබැවින්, දේශීය බැංකුවල පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ව්‍යවහාර මුදල් වත්කම්, දේශීය බැංකුවලට ගෙවිය යුතු විදේශ ව්‍යවහාර මුදල් වගකීම්වලට දළ වශයෙන් සමාන වේ නම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගණනය කරීම මගින් සංචිත තත්ත්වයේ සත්‍ය ස්වරූපය වඩාත් හොඳින් පිළිබිඹු වීමට ඉඩ ඇත. මන්දයත්, ඒ දෙකම ඇතුළත් කිරීමෙන් එකිනෙක කැපී යන බැවින් දෙකම බැහැර කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයම බොහෝ දුරට ලැබෙන බැවිනි.
අනෙක් අතට, නේවාසික බැංකුවල පවතින එම විදේශ ව්‍යවහාර මුදල් වත්කම් ශුන්‍යයට ආසන්න නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහන යටතේ භාවිතා වන ගණනය කිරීම මගින් සංචිතවල සත්‍ය තත්ත්වය වඩාත් හොඳින් පිළිබිඹු වනු ඇත. මන්දයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බැහැර කරන ලද වත්කම්වලින් ගණනය කිරීමට එල්ල වන්නේ සුළු බලපෑමක් පමණක් වන බැවිනි.
එසේ නම්, මෙහි ඇති මූලික ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නේවාසික බැංකුවටල අදාළව ශුද්ධ ණය ගන්නෙකු වන්නේ ද නැතහොත් ශුද්ධ ණයකරුවෙක් යන්නේ ද යන්නයි. එය නිගමනය කිරීමට අවශ්‍ය දත්ත නොමැති වීම, ශ්‍රී ලංකාවේ සංචිත පිළිබඳ සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට ඇති හැකියාවට බාධාවකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ ගණනය කිරීම්වලදී, නේවාසික බැංකුවල පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ව්‍යවහාර මුදල් වත්කම් තත්ත්වය නොසලකා හැරීමට ගත් තීරණයෙන් හැඟවෙන්නේ මෙම වත්කම් නොගිනිය හැකි තරම් සුළු ප්‍රමාණයක් බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ එම අගය භාවිතා කිරීමට ශ්‍රී ලංකාව එකඟ වීමට හේතුව ද එය විය හැක. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊට පටහැනිව සාක්ෂි ඉදිරිපත් නොවන්නේ නම්, වඩා නුවණට හුරු තීරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහනේ භාවිතා වන ගණනය කිරීම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමයි.
අතිරේක සටහන 1: දළ සංචිතවලට ඇතුළත් කර ඇති සියලුම වත්කම් එක හා සමානව භාවිතා කළ හැකි ද යන්න වෙනම ගැටලුවකි. උදාහරණයක් වශයෙන්, සංචිත වාර්තා කිරීමේදී චීන මහජන බැංකුව සමඟ එළැඹ ඇති මුදල් හුවමාරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සලකා ඇති ආකාරය පිළිබඳව FactCheck.lk මීට පෙර ගැටලුවක් මතු කර ඇති අතර, එය ඇතුළත් කිරීම මගින් රටට භාවිතා කළ හැකි සංචිත පිළිබඳ තත්ත්වය අධිතක්සේරු විය හැකි බවට තර්ක කර ඇත. වැඩි විස්තර සඳහා බලන්න: https://factcheck.lk/factcheck-lk-reservations-on-sri-lankas-reporting-of-foreign-reserves/අතිරේක සටහන 2: නේවාසික බැංකුවලට ගෙවිය යුතු විදේශ මුදල් වගකීම් අඩු කිරීමට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මිනුම විසින් 2023 ජනවාරි මට්ටම් මත පදනම් වූ ස්ථාවර විනිමය අනුපාතික සහ ස්ථාවර රන් මිලක් භාවිතා කරනු ලබයි. විනිමය අනුපාතික හෝ රන් මිල ගණන් වෙනස් වූ පමණින් ශුද්ධ ජාත්‍යන්තර සංචිතවල වටිනාකම වෙනස් වීම මේ හරහා වළක්වයි. බාහිර මූල්‍ය ගලාඒම් හෝ විදේශ ණය සේවා ගෙවීම් වැඩසටහන තුළ භාවිතා කරන ලද උපකල්පනවලට වඩා වෙනස් වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්කය ද ඒ අනුව සංශෝධනය කළ හැක. සරලව කිවහොත්, මිල උච්චාවචනයන් හෝ උපකල්පිත ගලාඒම් සහ ගෙවීම්වල සිදුවන වෙනස්වීම් හේතුවෙන් නොව, ප්‍රතිපත්තිවල කාර්යසාධනය හේතුවෙන් සංචිත වර්ධනය වන්නේද ද යන්න මැන බැලීමට මෙම සංශෝධනය මගින් උත්සාහ කෙරේ.

(a) පවතින විශේෂ ගැණුම් හිමිකම් (SDR) හැර, මහ බැංකුවට ගෙවීමට ඇති මුළු ණය.
(b) සංවිධානයේ පස්වැනි සහ සයවැනි සමාලෝචනය ප්‍රකාරව
මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකව, IMF සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ සිව්වැනි සමාලෝචනය, IMF සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ පස්වැනි හා සයවැනි සමාලෝචනය
This post is also available in: