හර්ෂ ද සිල්වා

EPF එකෙන් ලැබෙන නියම ප්‍රතිලාභ ගැන පා.ම හර්ෂ ද සිල්වා හරියටම හරි

"

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම නොසලකා හැරිය ද, ඉහළ යන උද්ධමනය හමුවේ EPF අරමුදලේ සාමාජිකයින් දැනුදු “යම් තාක් දුරට” පීඩාවට පත්ව සිටින බව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකදී පා.ම. හර්ෂ ද සිල්වා විසින් ප්‍රකාශ කරන ලදි.

නිව්ස්ලයින් | මැයි 22, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම නොසලකා හැරිය ද, ඉහළ යන උද්ධමනය හමුවේ EPF අරමුදලේ සාමාජිකයින් දැනුදු “යම් තාක් දුරට” පීඩාවට පත්ව සිටින බව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකදී පා.ම. හර්ෂ ද සිල්වා විසින් ප්‍රකාශ කරන ලදි. ඔහුගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා පා.ම පහත කරුණු සඳහන් කරයි:
(1) 1958 සේවක අර්ථසාධක අරමුදල් පනත තුළින් සහතික කර ඇති 2.5% ප්‍රතිලාභය මගින් එකල පැවති උද්ධමනයට වඩා (1% පමණ වූ) සැලකිය යුතු මූර්ත ප්‍රතිලාභයක් (නියමාකාරයෙන් ලැබෙන ප්‍රතිලාභය) සහතික කරන ලද බව.

(2) (අ) EPF අරමුදල විවිධ වර්ෂවලදී ධන සහ සෘණ මූර්ත ප්‍රතිලාභ යන දෙවර්ගයම ලබා ඇති බව; (ආ) විශේෂයෙන්ම, 2022 වර්ෂයේ දී, EPF අරමුදලේ මූර්ත ප්‍රතිලාභය සෘණ 47% ක් වූ බව.

පා.ම.ගේ ප්‍රකාශයෙහි සඳහන් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 1958 සේවක අර්ථසාධක අරමුදල් පනත, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවේ විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය (Special Statistical Appendix), EPF අරමුදලේ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනය සහ EPF අරමුදලේ 2022 වර්ෂයේ වාර්ෂික වාර්තාව පරිශීලනය කරන ලදි.
පළමු කරුණ – විශේෂ සංඛ්‍යා‍ලේඛන පරිශිෂ්ටයේ 3 වැනි වගුව පෙන්වා දෙන පරිදි 1953 දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය (Colombo Consumer Price Index) 101.6 ක අගයක් වාර්තා කර ඇති අතර එය 1957 වන විට 102.8 දක්වා වැඩි වී තිබේ. මෙම සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ මෙම කාල සීමාව තුළ වාර්ෂික උද්ධමනය -0.6% සිට 2.6% අතර පැවති බවයි. එහි සාමාන්‍යය 0.2% ක් වූ අතර එය පා.ම විසින් දක්වා ඇති 1% ට වඩා අඩු අගයකි. කෙසේ වෙතත්, EPF අරමුදලේ සාමාජිකයින්ට උද්ධමන අනුපාතිකයට වඩා ඉහළ ප්‍රතිලාභ අනුපාතිකයක් හිමි වන‌ සේ එකල පැවති අපේක්ෂිත සාමාන්‍ය උද්ධමන අනුපාතිකයට වඩා බෙහෙවින් ඉහළ (2.5% ක) ප්‍රතිලාභයක් සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් නියම කර තිබූ බවට පා.ම. ඉදිරිපත් කළ තර්කය මෙමගින් තහවුරු කෙරේ.
දෙවැනි කරුණ (අ): EPF අරමුදල පවත්වා ගෙන ආ කාලය තුළ ඍණ මෙන්ම ධන ප්‍රතිලාභ ද අත්විඳ ඇති බවට පා.ම සඳහන් කළ කරුණ වගුව 1 මගින් තහවුරු කෙරේ.
දෙවැනි කරුණ (ආ): මූර්ත ප්‍රතිලාභය ගණනය කිරීමේදී EPF අරමුදල (ක්‍රමය 1) සහ පා.ම යොදා ගෙන ඇති (ක්‍රමය 2, වගුව 2 සහ අතිරේක සටහන 1 බලන්න) වලංගු නමුත් වෙනස් ක්‍රම දෙකක් ඇත. පා.ම ගේ ගණනය කිරීම් දෙවැනි ක්‍රමයට අනුව නිවැරදි බව වගුව 2 පෙන්වයි.
1953 සහ 1957 අතර පැවති උද්ධමනය පිළිබඳව පා.ම ඉදිරිපත් කළ අගයන් මුළුමනින්ම නිවැරදි නොවුව ද, සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් උද්ධමනයට වඩා සැලකිය යුතු ඉහළ ප්‍රතිලාභයක් නියම කර ඇති බවට ඔහු ගෙනෙන තර්කය සැබෑ දත්ත මගින් තහවුරු කෙරේ. 2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභය සෘණ 47%ක් වූ බවට පා.ම සඳහන් කළ කරුණ ද නිවැරදි වේ (2 ක්‍රමය යොදා ගත් විට).
එබැවින්, අපි පා.ම. හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



Additional Note

යම්කිසි වර්ෂයක උද්ධමනයේ සාමාන්‍ය මාසික වැඩිවීම (MAIR) සහ උද්ධමන අනුපාතය (IRY) අතර වෙනස පහත පරිදි වේ. යම්කිසි වසරක උද්ධමනයේ සාමාන්‍ය මාසික වැඩිවීම යනු එම වසරේ සෑම මසක් අවසානයේදීම කොළම පාරිභෝගික මිල දර්ෂකය සටහන් කළ අගයන්ගේ සාමාන්‍යය ඊට පෙර වසරට සාපේක්ෂව වැඩි වී ඇති ප්‍රතිශතයයි. යම්කිසි වසරක උද්ධමන අනුපාතය (IRY) යනු එම වසරේ දෙසැම්බර් මස අගදී සටහන්ව ඇති කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගය ඊට පෙර වසරට සාපේක්ෂව වැඩි වී ඇති ප්‍රතිශතයයි.


මූලාශ්‍රය

1958 සේවක අර්ථසාධක අරමුදල් පනත
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/acts/en/epf_act.pdf
විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය, වාර්ෂික වාර්තාව 2022, ශ්‍රී ලංකා මහ බැංකුව
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2022/en/16_S_Appendix.pdf
වාර්ෂික වාර්තා , සේවක අර්ථසාධක අරමුදල
https://epf.lk/?page_id=243
මූල්‍ය ප්‍රකාශන, සේවක අර්ථසාධක අරමුදල
https://epf.lk/?page_id=2738

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.