රුවන් විජයවර්ධන

එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පසුගිය ණය සේවාකරණ පිරිවැය නිසි ලෙස හඳුනා ගනී

"

වර්තමාන රජයේ සමහරු කියනවා රට මේ තත්ත්වයට පත් වුණේ අපි [යහපාලන රජය] ණය ලබා ගත්ත නිසා කියලා. අපි ලබා ගත්ත ණයවලින් 80% ම යොදා ගත්තේ මහින්ද රාජපක්ෂගේ රජය ගත්ත ණය පියවීමටයි.

ඩේලි නිව්ස් | අප්‍රේල් 27, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

“ලබා ගත් ණය” යනු රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ශුද්ධ ණය ලෙස FactCheck.lk විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. පවතින ණය ප්‍රමාණයේ මුල් මුදලට එදිරිව සිදු කරන ලද ආපසු ගෙවීම්, ලබා ගන්නා ලද මුළු ණය ප්‍රමාණයෙන් අඩු කිරීමෙන් ශුද්ධ ණය ප්‍රමාණය ගණනය කරනු ලැබේ.

එබැවින්, “ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.

මෙම කරුණේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් වෙරිටේ රිසර්ච් ආයතනයේ ප්‍රකාශනයක් වන ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ‌‌‌ඩෙට්/Demystifying increase in Sri Lanka’s debt (ශ්‍රී ලංකාවේ ණය වැඩි වූ අයුරු) නම් විදසුන පරිශීලනය කරන ලදි.

එම විදසුනින් උපුටා ගන්නා ලද ප්‍රදර්ශිතය 1 පෙන්නුම් කර ඇති ආකාරයට, 2014 අවසන් වන විට එකතු වී තිබූ ණය ප්‍රමාණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම හේතුවෙන් 2015 – 2019 අතර කාලය තුළ වැඩි වූ ණය, එම කාලය තුළ වැඩි වූ මුළු ණය ප්‍රමාණයෙන් 89.8% කි.

(ඔහු සිදු කළ ප්‍රකාශය අප විසින් අර්ථකථනය කර ඇති පරිදි) ණය පොතට එකතු කරන ලද ණය මුදල්වලින් වැඩි ප්‍රමාණයක් මීට පෙර ලබා ගත් ණය මුදල්වල පිරිවැය වෙනුවෙන් හිලව් වූ බව (පොලී ගෙවීම් වශයෙන්) ප්‍රකාශ කිරීමේදී, වැඩි වූ ණය ප්‍රමාණයෙන් අඩු තරමින් 80%ක් හෝ ඒ සඳහා වැය වූ බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කර ඇත. 80%ක් පමණක් නොව එය ද ඉක්මවූ ණය ප්‍රමාණයක් (89.8%ක්) ඊට පෙර ලබා ගෙන තිබූ ණය මුදල්වල පොලිය ගෙවීම සඳහා භාවිතයට ගෙන ඇති බව මෙලෙස පළ කරන ලද විශ්ලේෂණයෙන් පෙනී යයි.

එබැවින්, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සිදු කරන ලද ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

ප්‍රදර්ශිතය 1: අතීත ණය මත සිදු කළ පොලී ගෙවීම් හේතුවෙන් 2015 – 2019 කාලය තුළ ණය වැඩි වූ අයුරු

මූලාශ්‍රය: වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පළ කරන ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ‌‌‌ඩෙට්/Demystifying increase in Sri Lanka’s debt (ශ්‍රී ලංකාවේ ණය වැඩි වූ අයුරු) නම් විදසුන



මූලාශ්‍රය

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පළ කරන ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ‌‌‌ඩෙට්/Demystifying increase in Sri Lanka’s debt (ශ්‍රී ලංකාවේ ණය වැඩි වූ අයුරු) නම් විදසුන https://www.dailymirror.lk/other/Demystifying-increase-in-Sri-Lankas-debt/117-226501 [අවසන් වරට ප්‍රවේශය 2022 මැයි 19]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.