ශ්‍රී ලංකාවේ සංචිත පහළ යෑම පිළිබඳව පා. මන්ත්‍රී වික්‍රමරත්න තිත්ත වුණත් ඇත්ත කියයි

"

2019 සහ 2021 වර්ෂයන්ට සාපේක්ෂව ගත් විට, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත 80% කින් අඩු වී ඇත. නමුත් [දකුණු ආසියාතික] කලාපයේ අනෙක් රටවල් ගත් විට, ඔවුන්ගේ විදෙස් සංචිත වැඩිවී ඇති බවක් දැක ගත හැක.

ඩේලිඑෆ්ටී | ජනවාරි 25, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

තම ප්‍රකාශයෙන්, 2019 ත් 2021 ත් අතර, දකුණු ආසියාතික කලාපයේ රටවල විදේශ විනිමය සංචිතයන් සංසන්දනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මෙම කාලය තුළදී කලාපයේ අනෙක් රටවල විදේශ සංචිතවල වැඩිවීමක් වාර්තා වී තිබියදී, ශ්‍රී ලංකාවේ විදේශ සංචිතයන් 80% කින් පහළ බැස ඇතැයි ද සඳහන් කරයි. 

මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සා බලනුවස්, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මගින් ප්‍රකාශිත දත්ත, කලාපයේ අදාළ අනෙකුත් රටවල මහ බැංකු මගින් ප්‍රකාශයට පත් කෙරුණු දත්ත සහ, ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක දත්ත සමුදාය පරිශීලනය කොට ඇත. 

දකුණු ආසියාතික කලාපයේ රටවල් අතර විදෙස් සංචිත සංසන්දනය කිරීමේදී, FactCheck.lk මගින් 2021 නොවැම්බර් අග තෙක් කාලය පමණක් එම සංසන්දනයට යොදා ගෙන ඇත. මන්ත්‍රීවරයා විසින් උක්ත ප්‍රකාශය සිදුකරනු ලැබූ අවස්ථාව වන විට, 2021 දෙසැම්බර් මාසය සඳහා වන මාස-අවසාන සංචිත ප්‍රමාණය පිළිබඳ දත්ත, සංසන්දනයට යොදාගත් අනෙකුත් දකුණු ආසියාතික රටවල් අඩකට වඩා ප්‍රකාශයට පත් කොට නොතිබුණි. 

2019 දෙසැම්බර් සිට 2021 නොවැම්බර් දක්වා සියලුම දකුණු ආසියාතික රටවල විදේශ විනිමය සංචිතයන්හි සිදු වූ වෙනස් වීම්  නිදර්ශන අංක 1 මගින් දක්වා ති‌‌‌බේ. මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය 79.2% ක ප්‍රමාණයකින් පහත වැටී තිබේ. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ 80% ක ප්‍රමාණයට ඉතා ආසන්න අගයකි. මේ අතර, අනෙකුත් දකුණු ආසියාතික රටවල් සියල්ලේම විදේශ සංචිතයන්, මෙම කාලසීමාව තුළ ඉහළ ගොස් ඇති බව දත්ත ඔස්සේ පෙනී යයි.  

මේ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු. 

සැලකිය යුතුයි: 2021 දෙසැම්බර් අවසානය වන විට, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත යම් තරමකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වුණි. කෙසේ නමුත්, මෙලෙස සංචිත ඉහළ යෑම වාර්තා වී ඇත්තේ මුදල් තොග, සංචිත ගණයට ඇතුළත් කිරීම හේතුවෙනි.  එහෙත්, මෙය සංචිත සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර නිර්වචනයට (ගෙවුම් ශේෂ අත්පොත – Balance of Payments Textbook, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) නොගැලපෙන ක්‍රමවේදයකි. 2021 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ විදෙස් සංචිතවල මෙම ඉහළ යෑම සිදුවූයේ, චීනය සමඟින් ඊට පෙර සිටම ඇතුළත්ව සිටි චීන යුවාන් මුදල් ඒකකය පදනම් වූ මූල්‍ය හුවමාරුව, සංචිතයක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නැවත වර්ගීකරණය කිරීම හේතුවෙනි. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ සතිපතා ආර්ථික දර්ශක පළ කිරීම්, ප්‍රවේශය; https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators  

තෝරාගත් රටවල මහ බැංකුවල අදාළ ප්‍රකාශනයන් සඳහා ප්‍රවේශය; 

ඉන්දියාව , https://m.rbi.org.in/Scripts/WSSViewDetail.aspx?TYPE=Section&PARAM1=2     

බංග්ලාදේශය , https://www.bb.org.bd/econdata/intreserve.php    

භූතානය , https://www.rma.org.bt/publication.jsp?id=5    

මාලදිවයින , https://database.mma.gov.mv/query    

පකිස්තානය , https://www.sbp.org.pk/dfmd/ferm.asp    

ලෝක බැංකු දර්ශක, සමස්ත සංචිත (රත්‍රන් සහ වත්මන් එ.ජ.ඩොලර් ඇතුළත්ව), ප්‍රවේශය; https://data.worldbank.org/indicator/FI.RES.TOTL.CD 

ගෙවුම් ශේෂ අත්පොත (Balance of payments textbook), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 1996, පිටු අංක. 129, ප්‍රවේශය; https://www.elibrary.imf.org/view/books/069/00579-9781557755704-en/ch12.xml  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.