Patali Champika Ranawaka පාඨලී චම්පික රණවක

ශ්‍රී ලංකාවේ ණය වගකීම්වල සැඟවුණු පැතිකඩක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක සඳහන් කරයි

"

රාජ්‍ය අංශයේ ණය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 109.7%ක් ලෙස මහ බැංකුව වාර්තා කර තිබෙනවා. මෙය ඉතිහාසයේ ඉහළම අගයයි. රජය විසින් ස්වෛරි බැඳුම්කර වටිනාකම අඩුවෙන් දැක්වීම නොසලකා හැරියොත් මෙය දළ දේශිය නිෂ්පාදිතයෙන් 113% ඉක්මවා යනවා.

දිනමිණ | ජූනි 2, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක විසින් සිය ප්‍රකාශයේ සඳහන් කරන ලෙසට (1) 2020 වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 109.7% ක් වන අතර, (2) මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම රාජ්‍ය ණය ප්‍රමාණය වේ. එසේම (3) රජය විසින් ස්වෛරී බැඳුම්කරවල වටිනාකම අඩුවෙන් නොදැක්වූයේ නම්, රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 113% ක් ඉක්මවන්නටද ඉඩ තිබිණි.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන කරුණුවල වැරදි නිවැරදිභාවය ඇගැයුම් කිරීම උදෙසා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්ෂික වාර්තාවන් පරිශීලනයට ගෙන ඇත.

1 වෙනි සඳහන: 2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව, 2020 වන විට මධ්‍යම රජයේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 101% ක් වී ඇත. රජයට අයත් ව්‍යාපාරවලට අදාළ විදේශ ව්‍යාපෘති ණය (දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% ක්) සහ රජයේ ඇපකර ණයද (දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.6% ක්) ඊට එකතු වූ විට, රාජ්‍ය අංශයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 109.7% ක් වී ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ පළමු සඳහන සත්‍ය වේ (නිදර්ශකය 1 බලන්න).

2 වෙනි සඳහන: මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා, FactCheck.lk මඟින් ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ඉක්මවූ සියලුම වසරවලට අදාළ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා පිරික්සා බලා ඇත. ඒ් අනුව, අවස්ථා 7 කදී ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ඉක්මවා ඇත (නිදර්ශක අංක 2 බලන්න). 2000 වසරට පෙර වාර්ෂික වාර්තාවන්හි, සමස්ත රාජ්‍ය ණය සම්බන්ධ දත්ත ප්‍රකාශයට පත් කොට නැත. සමස්ත රාජ්‍ය ණය පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇති දත්තවලට අනුව, 2020 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 109.7% ක් වූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය, නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති ඉහළම රාජ්‍ය ණය ප්‍රමාණය වේ. ඒ අනුව, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ දෙවන සඳහනද සත්‍ය වේ.

3 වෙනි සඳහන: ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISBs) වල නොගෙවා ඇති විදේශීය ණය වගකීම් තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළඳපොළ අගය යොදාගන්නා බව මන්ත්‍රීවරයා‌ගේ ප්‍රකාශයෙන් හැඟවේ. 2020 වසර අවසන වන විට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය සඳහා ඇතුළත් කොට ඇති සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වගකීම (වෙළඳපොළ අගයෙන් ගත් විට) ඇමරිකානු ඩොලර් මිලියන 11,868 ක් වී ඇත. කෙසේ නමුත්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ප්‍රකාශිත වටිනාකම අනුව ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශ්වයන්ට ගෙවීමට බැඳී ඇති සැබෑ ණය වගකීම ඇමරිකානු ඩොලර් මිලියන 14,050 ක් වී ඇත (2020 අවසානය වන විට). ගෙවීමට ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ප්‍රකාශිත අගය සලකා බලන්නේ නම් (වත්මන් වෙළෙඳපොළ අගය වෙනුවට), ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.7% ක අගයකින් වැඩි වනු ඇත. ඒ අනුව බැලුවහොත්, රටේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 112.4% ක් වනු ඇත. එසේ බලන විට මන්ත්‍රී රණවක විසින් ඉදිරිපත් කළ අගය වන 113% ක අගය, නිවැරදි අගයට ඉතාමත් ආසන්න වේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු.

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන්:

  • අනේවාසිකයින් විසින් දරනු ලබන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (විදේශීය ණය) වාර්තා කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වෙළඳපොළ අගය භාවිතා කරන අතර, නේවාසිකයින් විසින් දරන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (දේශීය ණය) වාර්තා කිරීමේදී මහ බැංකුව විසින් ප්‍රකාශිත අගය භාවිතා කෙරෙන බවක් පෙනෙන්නට තිබේ.
  • 2020 මහ බැංකු වාර්ෂික වාර්තාවේ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයේ වගු අංක 103 හි දැක්වෙන ආකාරයට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල විදේශීය ණය කොටස සඳහා දක්වා ඇති සංඛ්‍යාව වන්නේ රුපියල් බිලියන 1,796.6 කි (ඇමරිකානු ඩොලර් මිලියන 9,638 ක්). එය මහ බැංකු වාර්ෂික වාර්තාවේ පිටු අංක 142 හි ඇති වගු අංක 5.12 හි දැක්වෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල විදේශීය ණය කොටසට සමාන විය යුතුය. කෙසේ නමුත්, පසුව සඳහන් වගුව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 7,5555 ක අගයක් දැක්වෙන අතර, ඒ අනුව, එය සිදු වූ ආකාරය සොයාගත නොහැකි, ඇමරිකානු ඩොලර් මිලියන 2,083 ක දෝෂයක් පැන නැඟී තිබේ.

නිදර්ශක අංක 1: 2020 ශ්‍රී ලංකා රාජ්‍ය ණය

නිදර්ශක අංක 2: අතීතයේ සිට වර්තමානය දක්වා මධ්‍යම රජයේ ණය සහ රාජ්‍ය ණය ප්‍රමාණයන්

නිදර්ශක අංක 3: රජයේ ණය ප්‍රමාණයට ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම ඇතුළත් කිරීම

නිදර්ශක අංක 4: 2020 වසරේදී ගණනය කළ ශ්‍රී ලංකා රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස

 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2020, වගු අංක 5.12, පි.142, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2020.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.