අනුර කුමාර දිසානායක

ශ්‍රමික ප්‍රේෂණ නිසා භාණ්ඩ හිඟය වැළකෙන හැටි පා.ම. අනුර කුමාර හරියටම කියයි

"

මතක තබාගන්න අදත් අපේ රට දුවන්නේ ඔබ එවන විදෙස් මුදල්වලින්...අදත් අපේ රටේ තෙල් ටික තියෙන්නේ ගෑස් ටික තියෙන්නේ ඖෂධ තියෙන්නෙ එකක්, ඕගොල්ලෝ එවන විදෙස් විනිමය හේතු කොට ගෙන. දෙක, ණය නොගෙවීම හේතු කොට ගෙන.

අනුර කුමාර දිසානායකගේ YouTube නාලිකාව | ජූලි 21, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ගෑස්, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි වන පරිදි විදේශ මුදල් ශ්‍රී ලංකාව සතු වීමට (1) විදෙස්ගත ශ්‍රමිකයින් වෙතින් ප්‍රේෂණලැබීමත්, (2) ණය ආපසු ගෙවීම අත්හිටුවීමත් හේතු වූ බව පා.ම. අනුර කුමාර දිසානායක විසින් ජපානයේ පැවති මහජන හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය 2023, සතිපතා ආර්ථික දර්ශක සහ මුදල් අමාත්‍යාංශයේ 2023 ට අදාළ වාර්ෂික වාර්තාව පරිශීලනය කරන ලදි.

මෙම කරුණ ඇගයීම සඳහා අප විසින් ප්‍රථමයෙන් ණය ගෙවීම අත්හිටුවීමට පෙර අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් පැවති  කාලසීමාවට (2021 මැයි සිට 2022 අප්‍රේල් දක්වා) සාපේක්ෂව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් පැවති කාලසීමාව (2023 දින දර්ශන වර්ෂය) සංසන්දනය කරන ලදි. විදේශ මුදල්ලැබුණු ප්‍රභවයන් වෙනස් වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ, අනුපිළිවෙලින්, (1) ආනයනයන් අඩුවීම, (2) ණය ආපසු ගෙවීම් අඩුවීම, සහ (3) විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවල වැඩි වීම යන සාධක තුන බව අංක 1 වගුව පෙන්වා දෙයි.

එබැවින්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා යෙදවිය හැකි විදේශ මුදල් ප්‍රමාණය වැඩිවීමට හේතුව ලෙස ආනයන සඳහා පැවති සමස්ත ඉල්ලුම අඩුවීම ප්‍රධාන වශයෙන් දැක්විය හැකි අතර, විදේශ ණය මුදල්වලින් බොහොමයක් සඳහා ආපසු ගෙවීම් අත්හිටුවීම ඊට හේතු වූ දෙවැනි කරුණ ලෙස දැක්විය හැක. ඒ සඳහා ප්‍රේෂණ වැඩිවීමෙන් ලැබුණේ මෙම කරුණු දෙකටම වඩා අඩු දායකත්වයකි. කෙසේ වෙතත්, විදේශ මුදල් ගලා ඒම් සඳහා ලබා දුන්නිරපේක්ෂ දායකත්වය සැලකූ විට, එ.ජ.ඩොලර් මිලියන 497 ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය ශුද්ධ-ණය ගලා ඒම්වලට වඩා වැඩි වන අතර අපනයනයන්ගෙන් ලැබෙන ශුද්ධ දායකත්වයට සම වේ (ඇඟලුම් අපනයනවලදී මෙන් සාමාන්‍යයෙන්, ආනයනවලින් 50% කොටසකට අපනයන හිමිකම් කියන බව උපකල්පනය කළ විට.).

ණය ආපසු ගෙවීම අත්හිටුවීමෙන් පසු ශ්‍රී ලංකාව වෙත ලැබුණු විදේශ මුදල් ගලා ඒම් සඳහා ඉහළම දායකත්වයක් ලැබුණේ එ.ජ.ඩොලර් බිලියන 11.9 ක් වූ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවලින් බව පෙන්නුම් කරන අංක 2 වගුව මෙම කරුණ තවදුරටත් පැහැදිලි කරයි.

සාරාංශයක් ලෙස, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යාම සහ විදේශ ණය ආපසු ගෙවීම් අඩුවීම විදේශ සංචිත ඉහළ යාමට හේතු වූ ප්‍රධාන සාධකදෙකක් ලෙස පා.ම. නිවැරදිව හඳුනා ගනී. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් උද්ගත වීමට පෙර පැවති කාලසීමාවට සපේක්ෂව ඊට පසුව එළැඹි කාලසීමාව තුළවිදේශ මුදල් ගලා ඒම් වෙනස් වීමට බලපෑ ප්‍රධාන හේතුව ප්‍රේෂණ වැඩිවීම නොවුව ද, පා.ම. තර්ක කළ පරිදි, ප්‍රේෂණ යනු නිරපේක්ෂ වශයෙන් ගත් විට, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා යෙදවිය හැකි විදේශ මුදල් ලබා ගත හැකි වීමට ප්‍රධාන වශයෙන් දායක වූ සාධකය වේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අංක 1 වගුව: විදෙස් සංචිතවලට දායක වූ සාධකවල සිදු වූ වෙනස්කම්

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා (2022 – 2024)

අංක 2 වගුව: විදෙස් සංචිත වැඩිවීමට දායක වූ සාධක (මැයි 22 – ජූනි 24)

 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා (2022 – 2024)

*සටහන: මෙම කරුණු පිරික්සීම සිදු කරන අවස්ථාවේදී ඊට අදාළ දත්ත පළ කර නොතිබූ බැවින් ශුද්ධ ණය ගලා ඒම් සඳහා 2024 මැයි සහ ජූනිවලට අදාළ සංඛ්‍යා ඇතුළත් කර නොමැත.



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය 2023

සතිපතා ආර්ථික දර්ශක සහ මුදල් අමාත්‍යාංශයේ 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.