අනුප පැස්කුවල්

විශ්වවිද්‍යාල වරම් ලැබෙන සිසුන් සංඛ්‍යාව රාජ්‍ය අමාත්‍ය පැස්කුවල් හිතන තරම් අඩු නැහැ

"

හෝඩියට ළමයි ලක්ෂ 4ක් විතර ඇතුළුවෙනවා..මේ ලක්ෂ 4ක් ඇතුළු වෙන ශිෂ්‍යයන්ගෙන් 40,000යි විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලබා දෙන්නේ. සියයට 90ක් විශ්වවිද්‍යාල වරමක් නැතිව ඉබාගාතේ යන තත්ත්වයට පත්වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | නොවැම්බර් 25, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වරම් ලැබෙනුයේ මුළු සිසුන් සංඛ්‍යාවෙන් කුඩා ප්‍රතිශතයකට (10%) පමණක් බවත්, එලෙස විශ්වවිද්‍යාල වරම් නොලබන සිසුන් පාසල් කාලය නිමවීමෙන් පසු “ඉබාගාතේ යන” තත්ත්වයක් මතුව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සිය කතාව තුළින් තර්ක කරයි. මෙය, රජයේ විශ්වවිද්‍යාල සංඛ්‍යාව වැඩි කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ තර්කයක් බවට FactCheck.lk විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අර්ථකථනය කර ඇත .

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දැක්වූ සංඛ්‍යාලේඛන සහ ඔහු සඳහන් කළ කරුණ සනාථ කිරීම සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද තර්කය වෙත පමණක් මෙම කරුණු පරීක්‍ෂාව මගින් අවධානය යොමු කර ඇත. එබැවින්, ඔහු සඳහන් කළ කරුණ‌ට රුකුලක් විය හැකි වෙනත් තර්ක පැවතිය හැකි නමුත් එම තර්ක මෙහිදී ඇගයීමට ලක් නොකෙරෙනු ඇත.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකාවේ වාර්ෂික පාසල් සංගණනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉදිරිපත් කිරීමක් මගින්) සහ එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ/UNESCO) සංඛ්‍යාලේඛන ආයතනයේ දත්ත පරිශීලනය කරන ලදි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප්‍රවේශය නොලබන සිසුන් “ඉබාගාතේ යන” තත්ත්වයක් උදාවී  ඇතැයි යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ කරුණ හේතු තුනක් නිසා නොමඟයවනසුළුය. එනම්,

  1. එහි රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන්ගේ ප්‍රතිශතය අඩු කොට දක්වා ඇත.
  2. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ විදේශ විශ්වවිද්‍යාලවලට බැඳෙන සිසුන් සංඛ්‍යාව එහිදී නොසලකා හැර ඇත.
  3. විශ්වවිද්‍යාල හැර වෙනත් ආයතනවල උසස් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව එහිදී නොසලකා හැර ඇත.

පළමුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉදිරිපත් කිරීමට අනුව, 2021 දී ක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ලද සිසුන් සංඛ්‍යාව 43,927 කි. මෙම සංඛ්‍යාව වසර 13 කට පෙර 2008 දී පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලද සිසුන් 330,488 න්දළ වශයෙන් 13% කි. මෙම අගය රාජ්‍ය අමාත්‍ය පැස්කුවල් විසින් සඳහන් කරන ලද 10% ක ප්‍රතිශතයට වඩා තරමක් වැඩි ය.

ෙවනුව, රාජ්‍ය අමාත්‍යවරයා විශ්වවිද්‍යාල උපාධියක් හදාරන සිසුන් ලෙස සැලකිල්ලට ගෙන ඇත්තේ රජය විසින් ලබා දෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුන් පමණි. 2021 දී දළ වශයෙන් සිසුන් 25,000ක් දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව උපාධි පිරිනමන රාජ්‍ය නොවන ආයතනවලට බැඳී සිටි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉදිරිපත් කිරීම වාර්තා කරයි. තවත් සිසුන් 29,000ක් විදේශයන්හි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බව වාර්තා වේ. මේ අනුව, වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාවමුළු බඳවාගැනීම්වලින් හතරෙන් එකක් යැයි උපකල්පනය කළහොත්, වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ ප්‍රතිශතයමෙමගින් තවත් ප්‍රතිශත ලකුණු හතරකින් වැඩි කෙරේ.

තෙවනුව, රාජ්‍ය අමාත්‍යවරයා උසස් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලෙස සැලකිල්ලට ගෙන ඇත්තේ  විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් පමණකි. එහෙත්, උසස් අධ්‍යාපනය යනු රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල, ඩිප්ලෝමා සහ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනආයතන මගින් පිරිනමනු ලබන උපාධි ඇතුළත් පුළුල් අංශයකි. 2021 දී රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් පිරිනමනු ලබන ඩිප්ලෝමා වැඩසටහන් සඳහා සිසුන් 16,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන තිබූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉදිරිපත් කිරීම වාර්තා කරයි. මීට අමතරව, සිසුන් 35,700 ක් විවිධ වෘත්තීන් සඳහා පුහුණුවක් ලබා දෙන තාක්ෂණික හා තාක්ෂණ විද්‍යාලවලට ද බඳවා ‌ගෙන තිබිණ.

මෙම ඩිප්ලොමා සහ වෘත්තීය අධ්‍යාපන පාඨමාලාවල පාඨමාලා කාලය සාමාන්‍යයෙන් වසර දෙකක් යැයි උපකල්පනය කළහොත්, මෙය උසස්/වැඩිදුර අධ්‍යාපන වැඩසටහන් සඳහා ඇතුළත් කර ගන්නා සිසුන්ගේ ප්‍රතිශතය තවත් ප්‍රතිශත ලකුණු 8 න් වැඩි කරයි. එමෙන්ම, බැංකුකරණය සහ ගිණුම්කරණය වැනි වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් සඳහා බඳවා ගෙන ඇති සිසුන් සංඛ්‍යාව මෙම ගණනය කිරීමේදී මගහැරී තිබිය හැක.

රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ සමස්ත තර්කය තහවුරු කිරීමේ උත්සාහයක් ලෙස පාසලට ඇතුළත් වන සිසුන්ගෙන් 90% ක් පාසල් හැර යන වයසෙන් පසු (උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා නොමැතිවීමෙන්) “ඉබාගාතේ යන” තත්ත්වයක් පැන නැඟී ඇති බව පවසයි. කෙසේ වෙතත්, එම කණ්ඩායමෙන් 25% ක් (13+4+8) පමණ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන බව පවතින සංඛ්‍යාලේඛනවලින් පෙනී යන අතර, උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොලැබෙන ප්‍රතිශතය ලෙද දැක්වූ 90% අගය බෙහෙවින්ම වැඩි කොට දැක්වා ඇති තක්සේරුවකි.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන

2022 වන විට ශ්‍රී ලංකාව් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අතර දළ බඳවා ගැනීමේ අනුපාතය 23% ක් ව පැවති බව  යුනෙස්කෝ සංවිධානයේ සංඛ්‍යාලේඛන ආයතනය වාර්තා කරයි. ඉන්දියාව (40%), මැලේසියාව (40%), තායිලන්තය (49%) වැනි කලාපයේ අනෙකුත් රටවල්වල එම අනුපාතය සඳහා මෙම මූලාශ්‍රය වාර්තා කරන සංඛ්‍යාවන්ට වඩා මෙම අගය අඩු වීම මෙහිදී කැපී පෙනෙන කරුණකි. තෘතීයික අධ්‍යාපනයට නිල වශයෙන් අනුරූප වන වයස් කාණ්ඩයේ ජනගහනය සහ තෘතීයික අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා ලද මුළු සිසුන් සංඛ්‍යාව (වයස නොතකා) අතර අනුපාතය දළ බඳවාගැනීමේ අනුපාතය ලෙස අර්ථ දක්වනු ලැබේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන දෙකටම බඳවා ගෙන ඇතින් සිසුන්සංඛ්‍යාව මීට ඇතුළත් වේ.



මූලාශ්‍රය

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ වාර්ෂික පාසල් සංගණනය 2021. ප්‍රවේශය: https://moe.gov.lk/wp-content/uploads/2023/02/School_Census-2021_Summary-Tables-Final-Report1.pdf

යුනෙස්කෝ සංවිධානයේ සංඛ්‍යාලේඛන ආයතනය. ප්‍රවේශය: http://data.uis.unesco.org/#

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සංඛ්‍යාලේඛන 2022, 2 වන පරිච්ඡේදය විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම. ප්‍රවේශය: https://www.ugc.ac.lk/downloads/statistics/stat_2022/Chapter%202.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.