බැසිල් රාජපක්ෂ

මුදල් ඇමතිවරයා විසින් 2021 වසරේ ආදායම් අඩුවීම විශාල වශයෙන් වැඩි කොට දක්වයි

"

විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය නිසා අද වෙනකොට මේ වර්ෂයට පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් රුපියල් බිලියන 1,500-1,600 අතර ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. ඒ, නිශ්චිතව ලැබෙන ආදායම විධියට අපි තක්සේරු කළ ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක්.

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | සැප්තැම්බර් 7, 2021

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා පරිශීලනය කෙරී ඇත. 

හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කර ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ කතාවේ පිටපතත්, ඔහුගේ කතාවේ වීඩියෝ පටයත් සංසන්දනය කොට බැලීමේදී මෙම ප්‍රකාශයේ අර්ථ නිරූපණය පිළිබඳව යම් නොපැහැදිලිතාවයක් මතු වූ අතර ( අතිරේක සටහන බලන්න), FactCheck.lk මගින්, අමාත්‍යවරයා විසින් ආදායම් අඩුවීම් සංසන්දනය පිළිබඳව සිදුකළ ඉහත ප්‍රකාශයේ තිබෙන්නේ යැයි සැලකිය හැකි අර්ථ නිරූපණයන් දෙකක් ඔස්සේ එම ප්‍රකාශය ඇගයීමට ලක් කර ඇත. 

(අ) කොවිඩ්-19 වසංගතයට පෙරාතුව වසරවල අදාළ කාලපරිච්ඡේදය සඳහා රජයේ ආදායම, 2021 ආදායමේ අඩුවීම හා සංසන්දනය කොට. 

(ආ) 2021 වසර සඳහා රජයේ ආදායම් ඇස්තමේන්තුව සමඟින් 2021 ආදායම් අඩු වීම සංසන්දනය කොට.  

(අ) 2021 වසරේ ආදායම, වසංගතයට පෙර ආදායම හා සැසඳූ විට: 

රජයේ ආදායම සම්බන්ධ දත්ත, 2021 ජනවාරි සිට ජූලි දක්වා වන කාලසීමාව සඳහා ලබා ගැනීමට තිබේ (නිදර්ශක අංක 1 බලන්න). මෙම වසරේ පළමු මාස හත සඳහා රජයේ ආදායම එහිදී රුපියල් බිලියන 799.8 ක් ලෙසින් දැක්වේ. කොවිඩ්-19 වසංගතයට පෙර වසරවල ඉහළම ආදායම වාර්තා වී ඇත්තේ 2018 වසරේදීයි. 2021 වසරේ ජනවාරි-ජූලි කාලසීමාව තුළ ආදායම, 2018 වසරේ ආදායමට වඩා රුපියල් බිලියන 285.2 කින් අඩුවී ඇත.  

කොවිඩ්-19 වසංගතයට පෙර වැඩිම ආදායමක් වාර්තා වූ වසර හා සංසන්දනය කොට බැලූ විට පවා, 2021 වසරේ රජයට ලැබුණු ආදායමේ අඩු වීම, විශාලත්වය අතින් ගත් විට මුදල් අමාත්‍යවරයා විසින් සඳහන් කරන්නට යෙදුණු රුපියල් බිලියන 1,600 ක අගයට වඩා ඉතාමත් අඩු අගයක් ගනී. උක්ත සඳහන් පදනම ඔස්සේ ගණනය කළ විට, එම අගය අමාත්‍යවරයා විසින් සඳහන් කළ අගය මෙන් පස් ගුණයකටත් වඩා අඩු සංඛ්‍යාවක් බව පෙනී යයි. 

(ආ) 2021 වසරේ ආදායම, රජයේ ආදායම් ඇස්තමේන්තුව හා සැසඳූ විට: 

2021 සම්පූර්ණ වසර සඳහා අපේක්ෂිත ආදායම ලෙසින් 2020 වසරේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව මගින් ප්‍රක්ෂේපණය කොට ඇති ආදායම වන්නේ රුපියල් බිලියන 1,961 කි. 2021 සම්පූර්ණ වසර සඳහා ප්‍රක්ෂේපිත ආදායම ආනුපාතික පදනමකින් ගෙන, 2021 ජනවාරි-ජූලි කාලයේ ප්‍රක්ෂේපිත ආදායම ගණනය කළ විට රුපියල් බිලියන 1,144 ක ආදායම් ඇස්තමේන්තුවක් ලැබේ. 2021 ජනවාරි-ජූලි කාලසීමාව සඳහා ලැබී ඇති සැබෑ ආදායම, මෙම 2021 ජනවාරි-ජූලි ප්‍රක්ෂේපිත ආදායමට වඩා රුපියල් බිලියන 344.2 කින් අඩුය.  

මෙසේ 2021 වසරේ ජනවාරි-ජූලි කාලසීමාව සඳහා ප්‍රක්ෂේපිත ආදායම් ඇස්තමේන්තුව සමඟ, 2021 ජනවාරි-ජූලි කාලසීමාව සඳහා ලැබී තිබෙන සැබෑ ආදායම සැසඳූ විට, 2021 ජනවාරි-ජූලි කාලසීමාව සඳහා ආදායමේ පහත වැටීම, විශාලත්වය අනුව ගෙන බැලූ විට, මුදල් අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇති අගයට වඩා ප්‍රමාණයෙන් අඩුය.  

ඉහත කී අර්ථ නිරූපණයන් දෙකෙන් කුමකට අනුව වුවද, මුදල් අමාත්‍යවරයා විසින් සඳහන් කරන්නට යෙදුණු ආදායම් පහළ වැටීමේ ප්‍රමාණය සහ සැබෑ සංඛ්‍යාවන් සසඳා බැලූ විට, විශාලත්වය අතින් මහත් වූ විෂමතාවයක් දක්නට ලැබේ.   

ඒ අනුව, මුදල් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මුළුමනින්ම වැරදි යැයි අපි පවසමු.  

අතිරේක සටහන: 

හැන්සාඩ් වාර්තාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කළ බවට සටහන් වන ප්‍රකාශයත්, අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ සැබෑ ප්‍රකාශයත් අතර විෂමතාවයක් ඇති බව FactCheck.lk මගින් නිරීක්ෂණය කර ඇත. හැන්සාඩ් වාර්තාවෙන් ගත් ප්‍රකාශය මෙසේ දැක්විය හැක: විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය නිසා අද වෙනකොට මේ වර්ෂයට පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් රුපියල් බිලියන 1,500-1,600 අතර ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. ඒනිශ්චිතව ලැබෙන ආදායම විධියට අපි තක්සේරු කළ ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක්. කෙසේ නමුත් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ප්‍රකාශය මෙසේයි: “විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය කාලය තුළ මේ වර්ෂයේ පමණක් අද වෙන කොට අපට ලැබිය යුතු ආදායමෙන් [රුපියල්] බිලියන 1,500-1,600 අතර ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවාආදායම ලැබෙන [බවට] නිශ්චිත[ව] අපි තක්සේරු කරපු ප්‍රමාණයටත් වඩා.” 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



Additional Note

අතිරේක සටහන: හැන්සාඩ් වාර්තාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කළ බවට සටහන් වන ප්‍රකාශයත්, අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ සැබෑ ප්‍රකාශයත් අතර විෂමතාවයක් ඇති බව FactCheck.lk මගින් නිරීක්ෂණය කර ඇත. හැන්සාඩ් වාර්තාවෙන් ගත් ප්‍රකාශය මෙසේ දැක්විය හැක: “විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය නිසා අද වෙනකොට මේ වර්ෂයට පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් රුපියල් බිලියන 1,500-1,600 අතර ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. ඒ, නිශ්චිතව ලැබෙන ආදායම විධියට අපි තක්සේරු කළ ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක්.” කෙසේ නමුත් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ප්‍රකාශය මෙසේයි: “විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය කාලය තුළ මේ වර්ෂයේ පමණක් අද වෙන කොට අපට ලැබිය යුතු ආදායමෙන් [රුපියල්] බිලියන 1,500-1,600 අතර ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා, ආදායම ලැබෙන [බවට] නිශ්චිත[ව] අපි තක්සේරු කරපු ප්‍රමාණයටත් වඩා.”


මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවසතිපතා ආර්ථික දර්ශකප්‍රවේශයhttps://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators [අවසන් වරට ප්‍රවේශය: 2021 නොවැම්බර් 10] 

මුදල් අමාත්‍යාංශයවාර්ෂික වාර්තා (2020), ප්‍රවේශයhttps://www.treasury.gov.lk/p/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2021 නොවැම්බර් 10] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.