Anura Kumara Dissanayake

මෑත කාලයේ ලැබුණු ප්‍රේෂණ ගැන කියද්දී ජනපතිට කරුණු වරදී

"

පහුගිය මාස දෙකේ මෑත ඉතිහාසයේ ගත්තු වැඩිම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රමාණය ගලා ගෙන ඇවිල්ලා තියෙනවා, පහුගිය මාස දෙකේ ඇවිල්ලා තියෙනවා [එ.ජ.ඩොලර්] මිලියන 1121ක්..

පාර්ලිමේන්තුවේදී | මාර්තු 21, 2025

false

වැරදියි

තොරතුරු පිරික්සීම

පසුගිය මාස දෙක තුළ ප්‍රේෂණ ලෙස ලැබුණු එ.ජ.ඩොලර් මිලියන 1,121 ක මුදල සඳහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර මෑත කාලයේ වාර්තා වූ ඉහළම ප්‍රේෂණ ප්‍රමාණය එය බවයි.

මෙම ප්‍රකාශයේ සත්‍යසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රේෂණ පිළිබඳ දත්ත පරිශීලනය කරන ලදි.

මහ බැංකුවේ දත්තවලට අනුව 2025 ජනවාරි සහ පෙබරවාරි මාසවල ලැබුණු මුළු ප්‍රේෂණ ප්‍රමාණය ජනාධිපතිවරයා උපුටා දැක්වූ මුදල හා සැසඳෙන බැවින් ඔහු විසින් අදහස් කරන ලද්දේ එම මුදල බව අපගේ වැටහීමයි.

2025 ජනවාරි-පෙබරවාරි මාසවල ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය මෑත කාලයේ ලැබුණු ඉහළම ප්‍රේෂණ ප්‍රමාණය ද යන්න පරීක්ෂා කළ බැලීම FactCheck.lk විසින් 2025 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ ලැබුණු මුළු ප්‍රේෂණ ප්‍රමාණය, 2024 ආරම්භයේ සිට ගත හැකි සියලුම මාස දෙකක අඛණ්ඩකාලපරිච්ඡේදයන් (උදා: ජනවාරි සිට පෙබරවාරි, පෙබරවාරි සිට මාර්තු, මාර්තු සිට අප්‍රේල්, ආදිය) සමඟ සංසන්දනය කරන ලදි.

අංක 1 වගුවේ 2024 වර්ෂය තුළ ගත හැකි මාස දෙකක කාලපරිච්ඡේදයන් හතරක් දක්වා ඇති අතර, 2025 ජනවාරි සිට පෙබරවාරි දක්වා වූ කාලපරිච්ඡේදයට පෙර ගත වූ ආසන්නතම මාස කිහිපය ද මීට ඇතුළත් වේ. එම මාස කිහිපය තුළ එ.ජ.ඩොලර් මිලියන 1,121  ට වඩා වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්තා වී ඇත.

එක් මසක් තුළ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සැලකූ විට, 2025 ජනවාරි මාසයේදී එ.ජ.ඩොලර් මිලියන 573 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබිණි (පෙබරවාරි මාසයට වඩා වැඩි මුදලක්). එහෙත්, 2025 ජනවාරි මාසයේ දී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් 2024 අගෝස්තු, ඔක්තෝබර් සහ දෙසැම්බර්යන  මාසවලදී ලැබී තිබේ (අංක 1 වගුව බලන්න).

සාරාංශයක් ලෙස, මාස දෙකක කාලයක් සැලකුව ද, මසක කාලයක් සැලකුව ද, ජනවාරි-පෙබරවාරි මාසවලදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය මෑත කාලයේදී ලැබුණු ඉහළම ප්‍රමාණය බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ ප්‍රකාශය නිවැරදි නොවේ.

එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

  

අංක 1 වගුව: 2025 ජනවාරි සහ පෙබරවාරි මාසවලට සපේක්ෂව 2024 දී ප්‍රේෂණ



මූලාශ්‍රය

YouTube Page of the Parliament of Sri Lanka, https://www.youtube.com/live/Tb5Ovs5qhGY?si=u6nChWoxYXHRvqwa&t=31201 

Workers’ Remittances, Central Bank of Sri Lanka. https://www.cbsl.gov.lk/en/workers-remittances/statistics

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.