අශෝක් අබේසිංහ

ආර්ථික අර්බුදය නිසා වැසුණු සමාගම් ගැන පා.ම. අශෝක් අබේසිංහ ටිකක් හරි

"

මේ වසර තුන තුළ පමණක් [2020-22] සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ථශාලා 237,143 ක් මෙම ආර්ථික අර්බුදය නිසා වහලා තියෙනවා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | මැයි 7, 2024

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 සහ 2022 අතර කාලය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 237,143 ක් වැසී ගිය බව පා.ම. අශෝක් අබේසිංහ පාර්ලිමේන්තු කතාවකදී ප්‍රකාශ කළේය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් පවත්වන ලද විවාද පසුබිම් කොට ගෙන මෙම ප්‍රකාශය සිදු කරන ලදි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනයකරන ලද ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මත ආර්ථික අර්බුදයේ බලපෑම 2022 නම් වාර්තාව (Impact of Economic Crisis on MSMEs)පරිශීලනය කර ඇත.

මෙම වාර්තාවට අනුව, 2019 ජනවාරි සිට 2022 අවසානය දක්වා කාලය තුළ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 263,100 ක් පමණ වැසී ගොස්ඇත. මෙයින් 90.1% ක් (237,000 ක් පමණ) වසා දමා ඇත්තේ 2020 සහ 2022 අතර කාලය තුළදී ය (අංක 1 වගුව බලන්න). මෙම සංඛ්‍යාව පා.ම.සඳහන් කළ සංඛ්‍යාලේඛනවලට ආසන්නතම අගය වේ. කෙසේ වෙතත්, ජනවාරි-2019 සිට වසා දමන ලද මුළු ව්‍යාපාර සංඛ්‍යාවෙන් 97% ක් ක්ෂුද්‍රපරිමාණ ව්‍යාපාර විය (පුද්ගලයින් 4 කට අඩු සංඛ්‍යාවක් රැකියාවේ නියැලී සිටින). පා.ම. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යනුවෙන් පවසා ඇත්තේ අත්වැරදීමකින් බවත්, ඔහු අදහස් කර ඇත්තේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බවත් මින් හැඟවේ.

ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යාපාර ද තම ගණනය කිරීම සඳහා ඇතුළත් කර ගැනීම පා.ම. විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාවට වැඩි වශයෙන් පදනම් වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව පෙන්වා දේ. මීට   අමතරව, ව්‍යාපාර වසා දැමීමට හේතු වූ කරුණු ද සමීක්ෂණය මගින්විමසා ඇති බැවින් ආර්ථික අර්බුදය හේතුවෙන් වැසී ගොස් ඇත්තේ වසා දමන ලද මුළු ව්‍යාපාර සංඛ්‍යාවෙන් අඩකටත් වඩා අඩු (41%), එනම් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 108,100 ක් පමණ සංඛ්‍යාවක් බවත් එම වාර්තාව අනුව පෙනී යයි (අංක 2 වගුව බලන්න). එම වාර්තාවෙහි සඳහන් පරිදි, ව්‍යාපාර අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට හේතු වී ඇත්තේ කොවිඩ්-19 වසංගතය ඇතුළු ආර්ථික නොවන අර්බුදමය සාධක වේ.

පා.ම. ප්‍රකාශ කළ අයුරින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොව ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර ද සැලකූ විට ඔහු උපුටා දැක්වූ සංඛ්‍යාලේඛන නිවැරදි බැවින් පුළුල් පසුබිමක් තුළ එම ප්‍රකාශය සැලකූ විට ඊට ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර ද ඇතුළත් කර ඇති බවට අර්ථකථනය කළ හැක. කෙසේ වෙතත්, ඉහත සඳහන් සමීක්ෂණය මගින් ව්‍යාපාර වසා දැමීමට හේතු වූ කරුණු ද විමසන ලද අතර ආර්ථික අර්බුදය හේතුවෙන් වැසී ගිය ව්‍යාපාර සංඛ්‍යාව (2019 ජනවාරි මස සිට) මුළු සංඛ්‍යාවෙන් අඩකටත් වඩා අඩු බව ඉන් හෙළි වේ. එබැවින්, එකී සියලුම ව්‍යාපාර වසා දැමීමට හේතුව ලෙස ආර්ථික අර්බුදය දැක්වීමේදී පා.ම. අදාළ දත්තවල එක් අංශයක් නොසලකා හැර ඇති බව මෙහිදී පෙනී යයී.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදයි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.

 

අංක 1 වගුව: වසා දමන ලද ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

මූලාශ්‍ර: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අංක 2 වගුව: වසා දැමීමට හේතු (ව්‍යපාරයේ පරිමාණය මත පදනම්ව)



මූලාශ්‍රය

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මත ආර්ථික අර්බුදයේ බලපෑම 2022 (Impact of Economic Crisis on MSMEs 2022) , ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, http://www.statistics.gov.lk/Industry/StaticalInformation/OtherTablesReports/MSMEs_Report

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.