හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජාතික මට්ටමේ ගිණුම් වංචාවක් හෙළිදරව් කරයි

"

"ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් දැක්වෙන්නේ, 2020 වසරේ ශ්‍රී ලංකාවේ අයවැය හිඟය 11% ක් තරම් විශාල ප්‍රමාණයක් වූ බවයි. නමුත් එය ඊටත් වඩා ඉහළ අගයක්, එනම් 14% ක් විය යුතුය"

හර්ෂ ද සිල්වාගේ නිල ට්විටර් ගිණුම | මැයි 1, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මන්ත්‍රී ද සිල්වාගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව තක්සේරු කිරීම සඳහා, FactCheck.lk මගින් 2019 සහ 2020 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන් සහ 2019 වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පරිශීලනය කොට ඇත. 

2020 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ මෙසේ සඳහන් වේ: “2020 වසරේ සිදු කළ 2019 වසරට අදාළ නොපියවූ හිඟ ගෙවීම් පියවීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් බිලියන 422.6ක මුදලක් නැවත 2019 වසරේ රජයේ වියදම් සහ ශුද්ධ ණය දීම්වලට ගලපන ලදි.” (පි.155 -සිංහල සංස්කරණයේ පි.162). 

ගිණුම් ඉදිරිපත් කිරීමේදී මේ සිදුකර ඇති විතැන් කිරීම නිවැරදි යැයි පිළිගත හැක්කේ, මුදල් ගෙවූ විට හෝ ලැබුණු විට ආදායම හෝ වියදම වාර්තා කිරීමේ ක්‍රමයට ප්‍රතිපක්ෂව, ගනුදෙනුව සිදුවන විටම ආදායම හෝ වියදම වාර්තා කෙරෙන “උපචිත ගිණුම්කරණ” ක්‍රමය යටතේ පමණි. කෙසේ නමුත්: 

(අ) 2019 වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම්කරණ පද්ධතිය මගින් “වැඩිදියුණු කළ මුදල් පදනම මත ගිණුම්කරණ” ක්‍රමවේදයක් යොදාගන්නා බවයි (පි.196 -සිංහල සංස්කරණයේ පි.188). මෙම ගිණුම්කරණ ක්‍රමවේදය යටතේ වියදම් සහ ආදායම් වාර්තා කරනු ලබන්නේ මුදල් ගෙවීමකදී හෝ ලැබීමකදී හෝ පමණක් වන අතර, මුදල් වර්ෂය අවසානයේදී වියදම් නොකළ අයවැය ප්‍රතිපාදන අවලංගු කෙරේ. 

(ආ) උපචිත ගිණුම්කරණ ක්‍රමය භාවිතා වී තිබුණත්, අයවැය හිඟය ගණනය කිරීමේදී ආදායමට මෙන්ම වියදමටද එකම ආකාරයේ ගිණුම්කරණ ක්‍රමයක් යොදාගැනීම අවශ්‍ය වේ. කෙසේ නමුත්, 2019 වසර සඳහා වන ආදායම, 2020 ගිණුම්වල වෙනස් නොවී තිබූ අතර, එ අනුව උපචිත ගිණුම්කරණ ක්‍රමවේදය ආදායම විෂයෙහි නොව වියදම විෂයෙහි පමණක් යෙදවී තිබූ බව එයින් හැඟවේ. 

මෙම (අ) සහ (ආ) කරුණු සැලකිල්ලට ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 422.6 ක මුදලක් 2019 ගිණුම් වෙත විතැන් කිරීම, ගිණුම්කරණ සම්මතයන්ට අනුව වලංගු යැයි පිළිගත නොහැක. එනිසා, එහි ප්‍රතිඵලයක් ලෙසින් සිදුව ඇති වැරදි අර්ථ නිරූපණය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය ට්වීට් මාලාවේද පෙන්වා ඇති ආකාරයට ගිණුම් වංචාවක නිර්වචනය හා ගැලපේ. 

FactCheck.lk මගින්, අයුතු ලෙසින් 2019 ගිණුම්වලට විතැන් කරන්නට යෙදුණු එම රුපියල් බිලියන 422.6 ක මුදල 2020 වසර සඳහා වන වියදමට නැවත එකතු කොට ගණනය කර බලන්නට යෙදිණි. එහිදී ප්‍රතිඵල ලෙසින් රුපියල් බිලියන 2,091 ක අයවැය හිඟයක් ලැබුණු අතර, එය 2020 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 14% ක ප්‍රමාණය ගනී. 

මේ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු. 

 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



Additional Note

අතිරේක සටහන්: මූල්‍ය තත්වය සම්බන්ධයෙන් සදොස් මුහුණුවරක් ලබාදීම සඳහා සිතාමතාම මූල්‍ය ප්‍රකාශයන් හැසිරවීම, ගිණුම් වංචාව ලෙස නිර්වචනය කෙරේ. මේ අතර අදාළ ට්විටර් පණිවුඩයෙන් පසුව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් කළ ප්‍රකාශයක් ද මෝර්නින් පුවත්පතේ ඉදිරිපත්ව ඇත. එහිදී ඔහු පිළිගනු ලබන්නේ, අදාළ මුදල් ගෙවීම් 2020 වසරේදී සිදුවුවත්, එය 2019 වියදමක් ලෙසින් වාර්ෂික වාර්තාවේ වාර්තාගත කොට ඇති බවයි. ඔහු සඳහන් කරන්නේ එම වියදම් වාර්තාව එසේ මාරු කොට ඇත්තේ “[ගිණුම්] ඉදිරිපත් කිරීමේ අරමුණු” සඳහා වන බවයි.


මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයවාර්ෂික වාර්තාව 2019, ප්‍රවේශයhttp://oldportal.treasury.gov.lk/web/guest/publications/annual-report [අවසන් වරට ප්‍රවේශය: 2021 මැයි 12] 

ශ්‍රී ලංකා මහ බැංකුවවාර්ෂික වාර්තා (2019 සහ 2020), ප්‍රවේශයhttps://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2021 මැයි 12] 

පාර්ලිමේන්තු මන්ත්‍රී ද සිල්වාගේ සම්පූර්ණ ට්විටර් සංවාදය සඳහා: https://twitter.com/HarshadeSilvaMP/status/1388533167460548608 

ගුණුම් වංචාව යන්නෙහි නිර්වචනය මෙතැනින්https://www.investopedia.com/ask/answers/032715/what-accounting-fraud.asp 

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් පසුව කළ ප්‍රකාශය මෙතැනින්: 

https://www.themorning.lk/treasury-rules-out-fraudulent-stats-in-central-bank-report/. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.