සරත් වීරසේකර

ජාතික ධජය පිළිබඳ අමාත්‍ය වීරසේකරගේ ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයෙන් පිටයි

"

අපගේ මාතෘභූමියේ ජාතික ධජය විකෘති කිරීමට හෝ ඊට අගෞරව කිරීමට කිසිවෙකුටත් ඉඩක් නැත. ඕනෑම අයෙකු එසේ සිදුකළහොත්, ඒ පිළිබඳව පූර්ණ වශයෙන් විමර්ශනය කර, අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ එන විධිවිධාන යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇත.

සරත් වීරසේකරගේ නිල ට්විටර් ගිණුම | පෙබරවාරි 4, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව අමාත්‍ය සරත් වීරසේකර විසින් මෙම ට්විටර් පණිවුඩය නිකුත් කරන්නට යෙදිණි. හුදු ජාතික ධජය විකෘති කිරීමක් හෝ ඊට අගෞරව කිරීමක් හෝ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලබාදිය හැකි බවත්, එවැනි හැසිරීමකට එරෙහිව නඩු පැවරිය යුතු බවත් මෙම ට්විටර් පණිවුඩය මගින් අමාත්‍යවරයා හඟවයි.  

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය තහවුරු කර ගැනීම සඳහා, FactCheck.lk මගින් දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් විධිවිධාන පිරික්සා බලා ඇති අතර, එසේම, අනෙකුත් රටවල ඊට අදාළව පවතින නීති සම්බන්ධයෙන් ද සොයා බලා ඇත. අප රටේ ජාතික ධජය විකෘති කිරීම හෝ ඊට අගෞරව කිරීම හෝ සම්බන්ධයෙන් දඬුවම් නියම කෙරෙන නිශ්චිත විධිවිධානයක් දණ්ඩ නීති සංග්‍රහය තුළ නොමැත. නමුත් ඇතැම් රටවල, ධජ භාවිතා කිරීමට අදාළ යම් යම් ක්‍රියාවන් තහනම් කර ඇති ‘ධජ කෙළෙසීම’ පිළිබඳ නීති නැතිනම් ‘ධජ පිළිබඳ නීති සංග්‍රහයන්’ තිබේ. 

කෙසේ නමුදු, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ, ශ්‍රී ලංකාවේ“විවිධ පංතීන්ට අයත් ජන කොටස් අතර වෛරය සහ අසමගිය පිළිබඳ හැඟීම් ප්‍රවර්ධනය කිරීම” සඳහා සලකුණු හෝ දෘෂ්‍ය නිරූපණයන් භාවිතා කරනා පුද්ගලයෙකු, වසර දෙකක උපරිම කාලයක් සඳහා බන්ධනාගාර ගත කොට දඬුවම් කිරීමේ හැකියාවක් පවතී. ඒ අනුව, මෙම අභිප්‍රාය සහිතව ජාතික ධජය (එය “සලකුණක්” නැතිනම් දෘෂ්‍ය නිරූපණයක් ලෙසින් සැලකිය හැක) යම් කිසි විකෘති කිරීමකට බඳුන් කළ අවස්ථාවකදී , ඉහත වගන්තිය ප්‍රකාරව දඬුවම් ලබා දීමේ හැකියාවක් තිබේ. එසේ වුව ද, හුදු ධජය විකෘති කිරීමක් සිදු කළ පමණින් එය ඉහත කරුණ යටතට නොගැනෙන අතර, ධජයට ‘අගෞරව කිරීම’ යන කරුණ පවතින්නේ ඉහත කී විධිවිධානයේ විෂය පථයට ඔබ්බෙනි. 

ඒ අනුව, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය වැරදි යැයි අපි පවසමු 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය 

මිචිගන් රාජ්‍ය සරසවියේ නීති පීඨය, ධජයන්ට අගෞරව කිරීම සම්බන්ධ ලොව පුරා නීති පිළිබඳ සමීක්ෂණයක් (A survey of Flag Desecration Laws Around the World), ප්‍රවේශය:  https://www.msuilr.org/msuilr-legalforum-blogs/2017/3/23/a-survey-of-flag-desecration-laws-around-the-world  [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 23] 

යූරෝනිව්ස්, තම ධජයන්ට අගෞරව කිරීම හේතුවෙන් ඔබට දඬුවම් පමුණුවන යුරෝපා සංගමයේ රටවල් (The EU countries that will punish you for disrespecting their flags), ප්‍රවේශය:  https://www.euronews.com/2017/11/09/which-country-has-the-harshest-punishments-for-disrespecting-flags-and-national [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 23]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.