තොරතුරු පිරික්සීම
පළාත් පාලන මැතිවරණයට පෙර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මේ වන විට ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය වසර පහ-හයකට පසුව රැස් කරගෙන ඇති විශාලතම සංචිතය වන බවයි.
මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF සංවිධානයේ) කාර්ය මණ්ඩල වාර්තාවල ඇතුළත් විදේශ සංචිත පිළිබඳ දත්ත විශ්ලේෂණය කරන ලදි. එම දත්ත දර්ශක දෙකක් ඇසුරින් ඇගයීමට ලක් කරන ලදි. එම දර්ශක දෙක නම්, (i) සංචිතවල එ.ජ.ඩොලර් වටිනාකම, සහ (ii) සංචිතවලින් ආනයන ආවරණය කළ හැකි මාස ගණන යන්නයි. මෙම ඇගයීමේදී, ජනාධිපතිවරයා සිය ප්‍රකාශය සිදු කළ 2025 මාර්තු මාසයේදී පැවති සංචිත ප්‍රමාණය, මෙම දර්ශක දෙක පදනම් කර ගනිමින් අතීත දත්ත සමඟ සසඳන ලදි.
- සංචිතවල එ.ජ.ඩොලර් වටිනාකම
මහ බැංකුවේ දත්තවලට අනුව, පසුගිය වසර පහ තුළ (2020 අප්‍රේල් සිට) 5 වතාවක් ද, පසුගිය වසර හය තුළ (2019 අප්‍රේල් සිට) 17වතාවක් ද, 2025 මාර්තු මාසයේදී වාර්තා වූ එ.ජ.ඩොලර් බිලියන 6.5 ඉක්මවූ සංචිත ප්‍රමාණයක් වාර්තා වී ඇත. වඩාත්ම මෑතකාලීනව මෙය සිදු වූයේ 2020 සැප්තැම්බර් මාසයේදී වන අතර, එම අවස්ථාවේදී සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 6.7ක් ලෙස වාර්තා විය.
කෙසේ වෙතත්, 2021 දෙසැම්බර් මස සිට චීන මහජන බැංකුව සමඟ ඇති කරගත් ආසන්න වශයෙන් එ.ජ.ඩොලර් බිලියන 1.4ක වටිනාකමකින් යුත් මුදල් හුවමාරු පහසුකමක් මෙම සංචිතවලට ඇතුළත් කර ඇත. භාවිතය සම්බන්ධයෙන් සැලකිය යුතු සීමාවන්ට යටත්ව පවතින මෙම හුවමාරු පහසුකම, සංචිත වත්කමක් ලෙස සුදුසුකම් නොලබන අතර එව ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල කොටසක් ලෙස සැලකිය නොයුතුය (FactCheck.lk හි පැහැදිලි කිරීම බලන්න).
මෙම හුවමාරු පහසුකම නොසලකා හළ විට, 2025 මාර්තු වන විට ශ්‍රී ලංකාව සතුව පැවති නිවැරදිව අර්ථ දක්වන ලද විදේශ සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 5.1කි. ශ්‍රී ලංකාවේ අතීත සංචිත පසුගිය වසර පහ තුළ අවස්ථා 9 කදීත්, පසුගිය වසර හය තුළ අවස්ථා 21කදීත් මෙම එ.ජ.ඩොලර් බිලියන 5.1 ක අගය ඉක්මවා ගොස් ඇත. වඩාත්ම මෑතකාලීනව එය සිදු වූයේ මීට වසර 4.25 කට පෙර, එනම් 2020 දෙසැම්බර් මාසයේදී වන අතර, එකල සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 5.7 ක් විය. (අංක 1 ප්‍රස්තාරයේ ඇති දත්ත බලන්න).
මේ අනුව, මහ බැංකුව විසින් වාර්තා කරන ලද සංඛ්‍යාලේඛන භාවිතා කළ ද, නිවැරදිව අර්ථ දක්වන ලද සංචිත සංඛ්‍යාලේඛන භාවිතා කළ ද, ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි පසුගිය වසර පහ, හය තුළ පැවති විශාලතම සංචිතය වාර්තා වූයේ 2025 මාර්තු මාසයේ නොවේ. එම අවස්ථාවේදී වාර්තා වූයේ ජනාධිපතිවරයා සඳහන් කළ අගයට වඩා බෙහෙවින් අඩු අගයකි. 2025 මාර්තු මාසයේ පැවති සංචිත, පසුගිය වසර හතර තුළ (ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ප්‍රවේශය අහිමි වීමෙන් පසුව) වාර්තා වූ ඉහළම අගය වන අතර, එය පසුගිය වසර පහ, හය කාලය තුළ වාර්තා වූ ඉහළම අගය නොවේ.
- සංචිතවලින් ආනයන ආවර්ණය කළ හැකි මාස ගණන
විදේශ සංචිත මගින් වාර්තාගත ආනයන මූල්‍යනය කළ හැකි මාස ගණන මෙම දර්ශකය විසින් මනිනු ලැබේ. අදාළ මාසය ද ඇතුළුව, ඊට පෙර ගතවූ මාස 12 තුළ ආනයනය කරන ලද භාණ්ඩවල සාමාන්‍ය මාසික අගය පදනම් කරගනිමින් මෙය ගණනය කරනු ලැබේ. 2025මාර්තු මාසය සඳහා, මහ බැංකුව විසින් වාර්තා කරන ලද සංචිත මත පදනම් වූ ආනයන ආවරණය මාස 4.05 කි. නිවැරදිව අර්ථ දක්වන ලද විදේශ සංචිත ප්‍රමාණය මත පදනම් වූ විට මෙය මාස 3.20 දක්වා පහත වැටේ.
මහ බැංකුව විසින් වාර්තා කරන ලද සංචිත මත පදනම් වූ ආනයන ආවරණය, පසුගිය වසර පහ තුළ 11 වතාවක් ද, පසුගිය වසර හය තුළ 22 වතාවක් ද, 2025 මාර්තු සඳහා ගණනය කරන ලද මාස 4.05 අගය ඉක්මවා ගොස් ඇත. ඉන් වඩාත්ම මෑතකාලීන අවස්ථාව 2024නොවැම්බර් මාසයේදී වාර්තා වූ අතර, එම අවස්ථාවේදී ආනයන ආවරණය මාස 4.21 ක් විය. ඒ හා සමානව, නිවැරදිව අර්ථ දක්වන ලද සංචිත මත පදනම් වූ ආනයන ආවරණය, පසුගිය වසර පහ තුළ 13 වතාවක් ද, පසුගිය වසර හය තුළ 25 වතාවක් ද, 2025 මාර්තු මාසයේ පැවති මාස 3.20 ක අගය ඉක්මවා ගොස් ඇත. ඉන් වඩාත්ම මෑතකාලීන අවස්ථාව 2024 නොවැම්බර් මාසයේදී වාර්තා වූ අතර, එම අවස්ථාවේදී ආනයන ආවරණය මාස 3.30 ක් විය. මෙම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ, මෙම දර්ශකය අනුව වුව ද, පසුගිය වසර පහ, හය කාලය තුළ සංචිත ශක්තිය මාස ගණනාවකදීම 2025 මාර්තු මාසයේ වාර්තා වූ අගයට වඩා ඉහළ මට්ටමක පැවති බවයි.
සාරාංශයක් ලෙස, ශ්‍රී ලංකාවේ දැනට පවතින සංචිත ප්‍රමාණය පසුගිය වසර පහක, හයක කාලය තුළ පැවති විශාලතම සංචිතය බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය මහ බැංකුව විසින් වාර්තා කරන ලද සංඛ්‍යාලේඛන මෙන්ම නිවැරදිව අර්ථ දක්වන ලද සංචිත අනුව ද සාවද්‍ය වේ. කෙසේ නමුත්, 2020 දෙවන භාගයේ සිට සංචිත සීඝ්‍ර ලෙස පහත වැටී තිබූ බැවින්, 2025 මාර්තු මාසයේ පැවති සංචිත ප්‍රමාණය පසුගිය වසර හතර තුළ පැවති ඉහළම අගය විය. සංචිතවල ශක්තිය මැනීම සඳහා එ.ජ.ඩොලර් වටිනාකම වෙනුවට ආනයන ආවරණ මාස ගණන යොදා ගත්ත ද එම ප්‍රකාශයේ සාවද්‍ය බව එලෙසම පවතී.
එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අංක 1 ප්‍රස්තාරය: ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වත්කම් සහ ආනයන ආවරණය: 2020 අප්‍රේල් සිට 2025 මාර්තු
මූලාශ්‍රය
FactCheck.lk. (2024, January 22). මහ බැංකුවේ සහකාර අධිපති සදොස් වාර්තාවක් හරියට උපුටයි.https://factcheck.lk/factcheck/cbsl-assistant-governor-correctly-cites-flawed-reserve-reporting/
ශ්‍රී ලංකා මහ බැංකුව. (2025 අප්‍රේල්). සතිපතා දර්ශක. https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. (2009). ගෙවුම් ශේෂය සහ ජාත්‍යන්තර ආයෝජන පිළිබඳ අත්පොත (6 වන සංස්.).https://www.imf.org/external/pubs/ft/bop/2007/bopman6.htm
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. (2023, දෙසැම්බර් 12). ශ්‍රී ලංකාව: විස්තීරණ අරමුදල් පහසුකම යටතේ දීර්ඝ කරන ලද වැඩසටහන යටතේ පළමු සමාලෝචනය, කාර්ය සාධන නිර්ණායක නිරීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන් ලිහිල් කිරීමක් ඉල්ලා සිටීම, කාර්ය සාධන නිර්ණායක වෙනස් කිරීම, ප්‍රවේශය නැවත අදියර ගත කිරීම, සහ මුල්‍ය සහතික සමාලෝචනය—මාධ්‍ය නිවේදනය; කාර්ය මණ්ඩල වාර්තාව; සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය (රට වාර්තාව අංක 2023/408). https://www.imf.org/en/Publications/CR/Issues/2023/12/12/Sri-Lanka-First-Review-Under-the-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-542441.