BudgetCheck 2027
By FactCheck.lk
2027 නොවැම්බර් 12 වන දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශ 9ක් විමසුමට ලක් කරමින් FactCheck.lk විසින් 2021 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන BudgetCheck කරුණු පිරික්සීම මෙවර හයවන වරට පවත්වන ලදි.
නිල දත්ත සහ ප්‍රසිද්ධියේ ලබාගත හැකි සාක්ෂි මත පදනම්ව, ප්‍රකාශයන් 9ම සත්‍ය (TRUE) බවට නිගමනය කරන ලදි. කෙසේ වෙතත්, ඇතැම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා සහ ඒවායේ ඇඟවීම් පූර්ණ ලෙස අවබෝධ කර ගැනීම සඳහා අතිරේක සන්දර්භයක් අවශ්‍ය වේ.
වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් අවශ්‍ය වන ප්‍රකාශ පිළිබඳව සිදු කරන ලබන කරුණු පිරික්සීම් වෙනම ප්‍රකාශයට පත් කෙරේ.
මෙම සොයාගැනීම් මගින් තෝරාගත් ප්‍රකාශවල පමණක් නිරවද්‍යතාව තක්සේරු කෙරෙන අතර, එය සමස්තයක් ලෙස අයවැය කතාව තක්සේරු කිරීමක් ලෙස අර්ථ නොදැක්විය යුතුය.
1 වන ප්‍රකාශය
ප්‍රකාශය: …2025 වසරේදී ලබාගත් 5% ක ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින් දිට්වා සුළි කුණාටුවේ බලපෑම මධ්‍යයේ වුවත් 2026 පළමු කාර්තුවේදී 5.1% ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තා. දෙවන කාර්තුවේදී මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයෙන් වුවද 4.2% ක වර්ධනයක් ළඟා කර ගත්තා.
කරුණු පිරික්සීම: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5% කින් වර්ධනය විය. 2026 පළමු කාර්තුවේදී ආර්ථිකය 5.1% ක වාර්ෂික ලක්ෂ්යමය වර්ධනයක් වාර්තා කළ අතර, 2026 දෙවන කාර්තුවේදී එය 4.2% ක් විය.
නිගමනය: නිවැරදියි
මූලාශ්‍ර:
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු (2025) – https://www.statistics.gov.lk/qlink/Press Releases/GDPSummaryIndicatorsQ42025 En
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු (2026) – https://www.statistics.gov.lk/qlink/PressReleases/GDPSummaryIndicators Q12026 En
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු (2026) – https://www.statistics.gov.lk/qlink/Press Releases/GDPSummaryIndicatorsQ22026 En
2 වන ප්‍රකාශය
ප්‍රකාශය: දීර්ඝ කාලයක් පුරා වාර්තා කළ සෘණ ප්‍රාථමික ශේෂය 2025 දී 5.4% ක ඉතිහාසයේ ඉහළතම ධන ශේෂය වාර්තා කරා, ප්‍රාථමික ගිණුමේ.
කරුණු පිරික්සීම: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 ට අදාළ වාර්ෂික ආර්ථික සමාලෝචනයට විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශේෂ අතිරික්තය 5.4% ක් වූ අතර, එය 1959 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටම වේ. සැලකිය යුතු ලෙස, 1959 වසරේ සිට ශ්‍රී ලංකාව ප්‍රාථමික ශේෂ අතිරික්තයක් වාර්තා කර ඇත්තේ වසර හයකදී පමණි (1992, 2016, 2017, 2023, 2024 සහ 2025 යන වසරවලදීය).
නිගමනය: නිවැරදියි
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), වාර්ෂික ආර්ථික සමාලෝචනය 2025: විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය (https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2025/special-statistical-appendix).
3 වන ප්‍රකාශය
ප්‍රකාශය: 2025 වසරේදී අයවැය හිඟය 2.3%ක් ලෙස වසර 68කට පසුව අඩුම අගය වාර්තා කරලා තිබෙනවා අයවැය හිඟය.
කරුණු පිරික්සීම: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික සමාලෝචනය: විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් විය. එතිහාසික මහ බැංකු දත්ත මගින් පෙන්වා දෙන්නේ 1957 සිට 2024 දක්වා කිසිදු වසරක මෙයට වඩා අඩු හිඟයක් වාර්තා වී නොමැති බවයි. මීළඟට අඩුම අගය වාර්තා වූයේ 1974 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.3% ක් ලෙසිනි.
නිගමනය: නිවැරදියි
එම ප්‍රකාශයම සම්බන්ධයෙන් අප විසින් මීට පෙර පළ කරන ලද කරුණු පිරික්සීම මෙතැනින්: https://factcheck.lk/two-years-in-power-three-claims-checked-president-akds-rally-speech/
4 වන ප්‍රකාශය
ප්‍රකාශය: ඉතිහාසයේ අවම අගය වූ 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.2%ක් වූ රාජ්‍ය ආදායම..2025 වර්ෂයේදී 16.6ක් වූ අතර, ඒ වසර 23කට පසුව වාර්තා කළ ඉහළම රාජ්‍ය ආදායම වූවා.
කරුණු: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික සමාලෝචනය: විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයට අනුව, 2022 වසරේ රජයේ ආදායම (ප්‍රදාන හැර) රුපියල් බිලියන 1,979 ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.22% කි. මෙය 1970 වසරෙන් පසු වාර්තා වූ අඩුම ආදායම්-දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතය විය.
2025 වසර වන විට රජයේ ආදායම (ප්‍රදාන හැර) රුපියල් බිලියන 5,449 දක්වා ඉහළ ගිය අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.64% කට සමාන වේ. මෙය 2001 වසරෙන් පසු (එම වසරේ එය 16.65% ක් විය) වාර්තා වූ ඉහළම අනුපාතය වේ. එමනිසා, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම වසර 23 ක ඉහළම මට්ටමට ළඟා වූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මෙම සංඛ්‍යා මගින් සනාථ වේ.
නිගමනය: නිවැරදියි
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), වාර්ෂික ආර්ථික සමාලෝචනය 2025: විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය (https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2025/special-statistical-appendix)
5 වන ප්‍රකාශය
ප්‍රකාශය: 2025 වසරේදී විදෙස් ප්‍රේෂණ ලැබීම ඩොලර් බිලියන 8.1ක් වූ ඉතිහාසයේ හළතම අගයක් වාර්තා කළා.
කරුණු පිරික්සීම: ශ්‍රී ලංකා මහ බැංකුවේ බාහිර අංශයේ දත්තවලට අනුව, 2025 වසරේ විදේශ ප්‍රේෂණ එ.ජ.ඩොලර් මිලියන 8,076.2 ක් වූ අතර, එය වාර්තාගත ඉහළම වාර්ෂික ගලාඒ්ම වේ (මීට පෙර ඉහළම අගය වූයේ 2016 වාර්තා වූ එ.ජ.ඩොලර් බිලියන 7.24 ක පමණ අගයකි).
නිගමනය: නිවැරදියි
මූලාශ්‍ර:
- ශ්‍රී ලංකා මහ බැංකුව, බාහිර අංශයේ කාර්ය සාධනය – 2025 දෙසැම්බර් – https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb documents/press/pr/press 20260130 external sector performance december 2025 e.pdf
- ශ්‍රී ලංකා මහ බැංකුව, බාහිර අංශයේ කාර්ය සාධනය – 2026 සැප්තැම්බර් – https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb documents/press/pr/press 20261030 external sector performance september 2026 e.pdf
6 වන ප්‍රකාශය
ප්‍රකාශය: 2022 වසරේ රාජ්‍ය ආදායමෙන් 79.1%ක් පොලී ගෙවීම සඳහාම වැය වුණා. රජය උපයා ගන්නා ආදායමෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් රජය කරලා තිබෙන්නේ පොලී ගෙවන්න වැය කිරීම. 2025 වසර වන විට එය 45.9% දක්වාත් අඩු කිරීමට හැකියාව ලැබුණා.
කරුණු පිරික්සීම: මුදල් අමාත්‍යාංශයේ 2027 ට අදාළ අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්ව වාර්තාවට අනුව, 2022 වසරේදී රජයේ ආදායමින් 79.1% ක් පොලී ගෙවීම් සඳහා වියදම් කර ඇත. 2023 වසර වන විට එය 80.5% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ජනාධිපතිවරයා සඳහන් කළ 80% ක අගය සමඟ සමපාත වේ. 2025 වසර අවසන් වන විට, පොලී ගෙවීම් සඳහා වැය වූ රජයේ ආදායම් ප්‍රතිශතය 45.9% දක්වා පහත වැටී තිබිණි.
රූප සටහන 1.1 | පොලී වියදම් (මුළු ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස) (සටහන: 2011 සිට 2031 දක්වා වන ප්‍රක්ෂේපිත සහ ඇස්තමේන්තුගත අගයන් පෙන්වන ප්‍රස්තාරයකි. 2022 දී 79.1%, 2023 දී 80.5%, 2024 දී 66.7%, සහ 2025 දී 45.9% ලෙස දැක්වේ).

නිගමනය: නිවැරදියි
මූලාශ්‍රය: මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්ව වාර්තාව 2027 – මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව https://www.treasury.gov.lk/api/file/04b45c52-3ded-4621-86c7-b8c67455c9d8
7 වන ප්‍රකාශය
ප්‍රකාශය: … හදිසියකදී උපයෝගී කරගන්න මුදල් සංචිතයක් භාණ්ඩාගාරය සතුව තිබිය යුතුයි. ඒ නිසා තමයි අපි දිට්වා වලට බිලියන 500ක් මේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා, සතයක් අලුතින් ණය ගැනීමට යෝජනා කරන්නේ නැතුව.
තථ්‍ය පරීක්ෂාව (Fact-check): දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා අලුතින් ණය ගැනීමට යෝජනා නොකර, භාණ්ඩාගාරයේ පවතින රු. බිලියන 1,205 ක මුදල් ශේෂයන් (අංක 1 වගුව බලන්න) භාවිතා කරමින් රු. බිලියන 500 ක් වෙන් කර ගැනීමට රජයට හැකි වූ බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය නිවැරදිය.
අංක 1 වගුව: රජයේ මූල්‍ය ප්‍රවාහ මෙහෙයුම්වල සාරාංශය

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශයේ 2022-2024 වාර්ෂික වාර්තා සහ අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්ව වාර්තාව 2026
නිගමනය: නිවැරදියි
වැඩිදුර විස්තර: FactCheck.lk විසින් මීට පෙර පෙන්වා දී ඇති පරිදි, භාණ්ඩාගාරයේ මුදල් සංචිතවලින් යම් ප්‍රමාණයක් ගොඩනගා ඇත්තේ අර්ධ අතීතයේ ලබා ගත් ණය හරහාය. මෙම සංචිත භාවිතා කිරීම මගින් කල්පිරෙන ණය ආපසු ගෙවීම සඳහා ඇති අරමුදල් ප්‍රමාණයද අඩු වන අතර, එමඟින් අනාගත ණය ගැනීමේ අවශ්‍යතා ඉහළ නංවයි. අප මීට පෙර සිදු කළ කරුණු පිරික්සීම කියවන්න: https://factcheck.lk/factcheck/president-on-ditwah-recovery-all-that-glitters-in-the-treasury-is-not-debt-free/
මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශයේ 2022-2024 වාර්ෂික වාර්තා සහ අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්ව වාර්තාව 2026
8 වන ප්‍රකාශය
ප්‍රකාශය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපි අතර බැඳුණු ඉලක්කය තමයි 2032 වෙනකොට අපේ රාජ්‍ය ණය ප්‍රමාණය 95% දක්වා අඩු කර ගැනීම. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රගතියට අනුව මෙය 87% දක්වා අඩුවේ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන සමාලෝචනයෙන් පුරෝකථනය කර තිබෙනවා.
කරුණු පිරික්සීම: 2023 වසරේ නිකුත් කරන ලද ප්රකාශයකදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ 2032 වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% ට වඩා අඩු කිරීමට මෙම විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) අරමුණු කරන බවයි. තව ද, 2032 අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 86.7% දක්වා පහත වැටෙනු ඇතැයි ද එම සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ 2026 ට අදාළ වාර්තාවේ පුරෝකථනය කර ඇත.
නිගමනය: නිවැරදියි
මූලාශ්‍ර:
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව අංක 26/111 (2026) – https://www.imf.org/-/media/files/publications/cr/2026/english/1lkaea2026001.pdf
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව අංක 23/116 (2023) – https://www.imf.org/-/media/files/publications/cr/2023/english/1lkaea2023001.pdf
9 වන ප්‍රකාශය
ප්‍රකාශය: ..ඩොලර් මිලියන 300 ක් වන අපගේ [ධීවර කර්මාන්තයෙන් ලැබෙන] අපනයන ආදායම 2030 වන විට ඩොලර් මිලියන 600 ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
කරුණු පිරීක්සීම: ධීවර අමාත්‍යාංශයට අනුව, 2025 වසරේ මාළු සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයනවල අගය එ.ජ.ඩොලර් මිලියන 307.9 ක් (රු. මිලියන 92,738.7 ක්) වූ අතර, එය 2024 වසරේදී වාර්තා වූ එ.ජ.ඩොලර් මිලියන 285.2 ට වඩා වැඩි අගයකි.
නිගමනය: නිවැරදියි
මූලාශ්‍ර:
- ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, කාර්ය සාධන වාර්තාව 2025 – https://www.fisheries.gov.lk/media/downloads/2026/Performance_Report_2025_-_English_compressed.pdf
- ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, විශේෂ අවස්ථා – අපනයන සහ ආනයන 2024 – https://www.fisheries.gov.lk/statistics/export-and-import
*FactCheck.lk හි තීරණය පදනම් වී ඇත්තේ ප්‍රසිද්ධියේ ලබාගත හැකි නවතම තොරතුරු මතය. සෑම කරුණු පරීක්ෂාවකදීම මෙන්, නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk මෙම ඇගයීම නැවත සමාලෝචනය කරනු ඇත.
This post is also available in: