BudgetCheck 2023

වෙරිටේ රීසර්ච් ආයතනය විසින් මෙහෙයෙවන පර්යන්තයක් වන FactCheck.lk ගෙන එන #BudgetCheck විසින් මෙවර තෙවැනි වතාවටත් අයවැය කතාවෙහි ඇතුළත් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2023 අයවැය කතාවට අදාළව කරුණු පිරික්සීම් ඉදිරිපත් කරමිනි.

FactCheck.lk විසින් අයවැය කතාවෙහි ඇතුළත්ව තිබූ ප්‍රකාශයන් හතක් වෙනුවෙන් කරුණු පිරික්සීම් සිදු කරන ලදි. ඒ අනුව, මින් ප්‍රකාශයන් 4 ක් නිවැරදි බවත්, ඉතිරි ප්‍රකාශයන් 3 තරමක් නිවැරදි බවත් හඳුනා ගන්නා ලදි.

කරුණු පිරික්සීම 1:

සෞඛ්‍ය හා අධ්‍යාපන යන අංශයන් වෙනුවෙන් සිදු කරන ලද වියදමට සාපේක්ෂව වැඩි මුදලක් ආරක්ෂක සහ මහාමාර්ග යන අංශයන් වෙනුවෙන් මධ්‍යම රජය විසින් වියදම් කර ඇත. එබැවින්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශයන් වෙනුවෙන් වඩා අඩු මුදලක් වියදම් කිරීම මගින් පිළිබිඹු වනුයේ ප්‍රතිපත්තිමය වශයෙන් ඒ වෙත ලබා දෙන අඩු ප්‍රමුඛතාව වන අතර, එය අඩු ආදායමට පමණක් බැර කළ නොහැක.

කරුණු පිරික්සීම 2:

2021 අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත එ.ජ.‌ ඩොලර් බිලියන 3.1 ක් ලෙසත් 2022 ඔක්තෝබර් අවසානය වනවිට එ.ජ.‌ඩොලර් බිලියන 1.7 ක් ලෙසත් වාර්තා විය. එය එසේ වුවත්, මීට පෙර සිටම පැවති, නැවත වර්ගීකරණය කරන ලද එ.ජ.‌ ඩොලර් බිලියන 1.4 ක (¥ බිලියන 10 ක) චීන යුවාන් මත පදනම් වූ මුදල් හුවමාරු පහසුකමක් ද මෙම වාර්තාකරණයට ඇතුළත් කර ඇති නමුදු එය සංචිත සඳහා වන ජාත්‍යන්තරව පිළිගත් නිර්වචනය හා නොගැලපේ.

කරුණු පිරික්සීම 3:

2021 වසරේදී, රජය සතු ප්‍රධාන ව්‍යවසායයන් 52 ක ශුද්ධ පාඩුව රුපියල් බිලියන 86 ක් විය. 2019 සහ 2020 වසරවල දී, මෙම රජය සතු ව්‍යවසායයන් හි ශුද්ධ ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 4 ක් සහ රුපියල් බිලියන 34 ක් ලෙස වාර්තා විය. 2022 වසරේ පළමු මාස හතර තුළ මෙම ව්‍යවසායයන්ගේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 859 ක් විය.

කරුණු පිරික්සීම 4:

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8.7% ක් විය. එසේ වුව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවන්ට අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව, රටවල් 190ක් අතුරින් අඩුම ආදායමක් වාර්තා කළ රටවල්වලින් සත් වැනි තැන පසු විය.

කරුණු පිරික්සීම 5:

මුළු රාජ්‍ය ආදායමයෙන් සහ ප්‍රදානයන්වලින් වැඩි කොටසක් රජයේ වැටුප් හා වේතන වෙනුවෙන් වැය වී ඇත: 2021 දී එය 57.8% ක් වූ අතර, 2022 දී 47.5% ක් ලෙස පුරෝකථනය කර ඇත.

කරුණු පිරික්සීම 6:

පළතුරු සහ එළවළු හා සම්බන්ධ පසු-අස්වනු වගා හානිය 30-35% අතර වන බව දැනට පවතින දත්ත අනුව පෙනී යයි (2019). මේ සඳහා ප්‍රධානතම් හේතුව ලෙස ප්‍රවාහනයේදී සුදුසු අයුරින් පළතුරු සහ එළවළු අසුරා නොතිබීම යන්න හඳුනා ගෙන ඇත.

කරුණු පිරික්සීම 7:

අයවැය කතාවෙහි උපුටා දක්වා ඇති සංඛ්‍යාලේඛන 2020 වසරට අදාළ වන අතර (බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නවතම දත්ත), ඒ අනුව බන්ධනාගාරයන්හි මුළු ධාරිතාව 13,241 ක් විය. එමෙන්ම, වරදකරුවන් වූ + මෙතෙක් වරදකරුවන් නොවූ පුද්ගලයින්ගේ දෛනික ජනගහනයේ සාමාන්‍යය 25,991 ක් විය.

This post is also available in: English සිංහල தமிழ்