තොරතුරු පිරික්සීම
ඉරාන-ඊශ්‍රායල ගැටුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ සහ කලාපීය වශයෙන් එම ප්‍රේෂණ බෙදී ගොස් ඇති ආකාරය පිළිබඳ කරුණු දෙකක් සඳහන් කරන ලදි: එනම්, (1) 2024 වසරේදී ශ්‍රී ලංකාවට විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලෙස එ.ජ. ඩොලර් බිලියන 6.57ක් ලැබුණු බවත්, (2) ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 80%ක් මැදපෙරදිග කලාපයේ සේවය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශයෙහි වැරදි නිවැරදිභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (Sri Lanka Bureau of Foreign Employment) 2023 ට අදාළ විදේශ රැකියා පිළිබඳ වාර්ෂික සංඛ්‍යාලේඛන, ශ්‍රී ලංකා මහ බැංකුවවිසින් නිකුත් කරන ලද 2024 ට අදාළ වාර්ෂික ආර්ථික සමාලෝචනය සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්රමණයෙහි කාර්තුමය විවරණිකාව, රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම (2023 – 2027), සහආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ දෙපාර්තමේන්තුවේ (United Nations Department of Economic and Social Affairs) 2024 ට අදාළ ජාත්‍යන්තර සංක්‍රමණික ගහනය යන මූලාශ්‍ර පරිශීලනය කරන ලදි.
පළමු කරුණ සම්බන්ධයෙන්: මහ බැංකුව විසින් විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකුවලින් ලබා ගෙන ඇති සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන පරිදි, 2024 වසරේදී ලැබී ඇති මුළු විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 6.57 කි. මෙය විපක්ෂ නායකවරයා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාව සමඟ සමපාත වේ.
දෙවැනි කරුණ සම්බන්ධයෙන්: මෙම කරුණ මගින් දැනට විදේශගතව සිටින සමස්ත ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව අදහස් කර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත්, දැනට විදේශගතව සිටින විගමනික ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (Sri Lanka Bureau of Foreign Employment) ද ඇතුළුව නිල රාජ්‍ය මූලාශ්රවල වාර්තා වී නොමැත. එවැනි දත්ත නොමැති විටකදී, විගමනික ශ්‍රමිකයින්ගේ කලාපීය ව්‍යාප්තිය සඳහා ඇති හොඳම දර්ශකය විය හැක්කේ විදේශ රැකියා සඳහා වාර්ෂිකව පිටත්ව යන ශ්‍රමික සංඛ්‍යාව විය හැක. මහ බැංකුව විසින් ඒ සඳහා වාර්තා කර ඇත්තේ ද මෙම සංඛ්‍යාව බව මෙහිදී පෙනී යයි (නමුත් එම වාර්තාකරණයේ පවතින ගැටළු පිළිබඳ විස්තර සඳහා අතිරේක සටහන 1 බලන්න).
මහ බැංකුවේ නවතම ශ්‍රමික ප්‍රේෂණ සහ ශ්‍රම විගමන දත්ත (විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් ලබාගත්) පෙන්නුම් කරන පරිදි, 2022 සහ 2024 අතර කාලය තුළ, සාමාන්‍යයක් ලෙස, විදේශ රැකියා සඳහා පිටව ගිය ශ්‍රමිකයින්ගෙන් ආසන්න වශයෙන් 80%ක් පමණ මැදපෙරදිග රටවල් වෙත ගොස් ඇත. විපක්ෂ නායකතුමා විසින් උපුටා දක්වන ලද “[විගමනික ශ්‍රමිකයින්ගෙන්] 80%ක් මැදපෙරදිග සේවය කරති” යන සංඛ්‍යාව මෙම මූලාශ්‍රය වෙතින් හෝ එම මූලාශ්‍රය පාදක කරගත් මූලාශ්‍රවලින් හෝ ලබා ගත් අගයක් විය හැක.
සාරාංශයක් ලෙස, විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවලට අදාළ නිල දත්තවල සීමාවන් පැවතිය ද, ඉහත සඳහන් පළමු කරුණ මහ බැංකුවේ දත්ත මගින් තහවුරු කෙරේ. ශ්‍රමිකයින්ගෙන් වැඩි පිරිසක් මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු වීමට අදාළව සඳහන් කළ දෙවැනි කරුණ මගින්වාර්ෂික ශ්‍රමික පිටත්ව යෑම් පිළිබඳ නිල දත්ත නිවැරදිව පිළිබිඹු වේ. මෙම දත්තවල යම් යම් සීමාවන් පැවතිය ද(අතිරේක සටහනින් තවදුරටත් විස්තර කර ඇත), එය මුළු විගමනික ජනගහනයේ ව්‍යාප්තිය පෙන්නුම් කිරීමට යොදා ගත හැකි සමීපතම සංඛ්‍යාලේඛනය ලෙස ක්‍රියා කරයි.
එබැවින්, අපි විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන 1: මහ බැංකුව විසින් පිටත්ව යෑම් ලෙස වාර්තා කර ඇති සංඛ්‍යා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලියාපදිංචි ශ්‍රමිකයින් ලෙස වාර්තා කර ඇති සංඛ්‍යා එක හා සමාන වේ. කෙසේ වෙතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලාශ්‍රවලට අනුව එහි දත්ත කට්ටලයෙහි අඩංගු වන්නේ, වාර්තා වී ඇති පිටත්ව යෑම් නොව, පිටත්ව යාමේ අභිප්‍රාය ඇතිව සිදු කර ඇති ලියාපදිංචි කිරීම් පමණි. ලියාපදිංචි වන ඇතැමුන් විදෙස්ගත නොවන අතර, ඇතැමුන් ලියාපදිංචි නොවී වදෙස්ගත වීමට ද ඉඩ ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලාශ්‍ර පවසන පරිදි, මෙම දත්තවලට වත්මන් වසරේ පමණක් නොව පසුගිය වසරේ ලියාපදිංචි කිරීම් මෙන්ම පළමු වසර දෙකට පසු තම ලියාපදිංචිය අලුත් කර ඇති පුද්ගලයින් ද ඇතුළත් වේ.
මූලාශ්‍රය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ රැකියා පිළිබඳ වාර්ෂික සංඛ්‍යාලේඛන 2023. https://www.slbfe.lk/wp-content/uploads/2024/10/sodapdf-converted-18_compressed.pdf
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික ආර්ථික සමාලෝචනය 2024 සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය.https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2024/statistical-appendix
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම (2023 – 2027). https://labourmin.gov.lk/wp-content/uploads/2023/11/National-Policy-and-National-Action-Plan-on-Migration-for-Employment-Sri-Lanka-2023-2027-English-Ver._compressed.pdf
ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ ශ්‍රම සංක්රමණයෙහි කාර්තුමය විවරණිකාව.https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/workers_remittances_and_labour_migration_bulletin_2024_q4_e.pdf
ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, ශ්‍රී ලංකාවේ සංක්‍රමණය සහ අවතැන්වීම, ජාතික ඇගයීම් වාර්තාව 2023. https://www.redcross.lk/wp-content/uploads/2024/04/SL-Natioanl-Assessment-Report-2023.pdf
ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර සංක්‍රමණික ගහනය 2024, POP/DB/MIG/Stock/Rev. 2024 (බාගත කළ හැකි දත්ත කට්ටලය).https://www.un.org/development/desa/pd/content/international-migrant-stock
ආරියසිංහ, රවිනාථ (2020). ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා විදේශ රැකියාවල කාර්යභාරය: අභියෝග සහ අවස්ථා. විදේශ සබඳතා අමාත්‍යාංශය.