Dr. Nandalal Weerasinghe

‍2027 දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ගැන මහ බැංකු අධිපතිගේ අදහස යථාර්ථවාදියි

"

සාමාන්‍යයෙන් ඔ්නම ආර්ථික අර්බුදයකට පස්සේ කියනවා යම්කිසි රටක ‍output loss එකක් වෙනවා කියලා. ඒ loss එක recover වෙන්න, නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න, යම් කිසි කාලයක් යනවා. මං හිතන්නෙ 2018 මට්ටමට බොහෝ විට ලබන අවුරුද්දෙ එන්න පුළුවන්, නැත්තං ඊට පස්සෙ අවුරුදදේ වැඩිම වුණොත්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ යූටියුබ් නාලිකාව | මාර්තු 26, 2025

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා පැවති මාධ්‍ය හමුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර සිටියේ ආර්ථික අර්බුදයකින් පසු සාමාන්‍යයෙන් යම් කිසි රටක ජාතික මට්ටමින් නිෂ්පාදනයේ පහත වැටීමක් සිදු වුණ ද, ශ්‍රී ලංකාව “ඊළඟ වසරේදී හෝ වැඩිම වුණොත් ඊට පසු වසරේදී” අර්බුදයට පෙර ඒ සඳහා වාර්තා කළ උපරිම අගයන් (2018 මට්ටම) නැවතත් අත් කර ගනු ඇති බවයි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා FactCheck.lk විසින් IMF සංවිධානයේ ලෝක ආර්ථික ඉදිරි දැක්ම (World Economic Outlook) පිළිබඳ දත්ත ගබඩාව සහ ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ IMF සංවිධානය විසින් සිදු කරන ලද තෙවන සමාලෝචනය (2025 මාර්තු) විමසා බලන ලදි .

( i ) යථා තත්ත්වයට පත් වීමට යම් කිසි කාලයක් අවශ්‍ය වන අර්බුදයකින් පසු සාමාන්‍යයෙන් ඔ්නෑම රටක නිෂ්පාදනයේ අඩුවීමක් සිදු වනබවත්, (ii) ශ්‍රී ලංකාව 2026 වන විට හෝ අවම වශයෙන් 2027 වන විට ඒ සඳහා 2018 වාර්තා වූ මට්ටමට ළඟා වනු ඇති බවත් යනුවෙන් වන කරුණු දෙකකින් මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය සමන්විත වේ.

 

අර්බුදයකින් පසු රටකට සාමාන්‍යයෙන් නිෂ්පාදනයේ පහත වැටීටමක් අත් විඳීමට සිදු වේ ද?

පසුගිය වසර දහය තුළ, රටවල් 12 ක් පුරා ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් 15 ක් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් අතුරින් වැඩසටහන් හතරක් තුළ නිෂ්පාදනයේ පහත වැටීමක් සිදු වී නොමැත (දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීම). නමුත් ඉතිරි වැඩසටහන් 11 තුළ, ණය අත්හිටුවීමේ වර්ෂය තුළ හෝ ඊට පසු වර්ෂය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීමක් සිදු වී ඇත. මේ අතරින්, සුරිනාම් සහ යුක්රේනය යන රටවල් දෙක තවමත් පූර්ව-අර්බුද අවධියේ නිෂ්පාදන මට්ටම් අත් කර ගෙන නොමැත. පූර්ව-අර්බුද අවධියේ නිෂ්පාදන මට්ටම් යනු ණය ගෙවීම අත්හිටුවීමට පෙර ගත වූ වසර පහ තුළ වාර්තා වූ ඉහළම මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ලෙස අර්ථ දක්වා ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් 13 ක් සඳහා (පූර්ව-අර්බුද අවධියේ නිෂ්පාදන මට්ටම ළඟා කර ගැනීමට තවමත් අපොහොසත් වී සිටින රටවල් දෙක හැර) දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීමේ සමුච්චිත අගය සහ පූර්ව-අර්බුද අවධියේ නිෂ්පාදන මට්ටම් අත් කර ගැනීමට ගත වූ කාලය අංක 1 වගුව මගින් ඉස්මතු කෙරේ.

මේ අනුව, ඉහත කරුණු මගින් මහ බැංකු අධිපතිගේ පළමු ප්‍රකාශය තහවුරු කෙරේ. එනම්, ණය ආපසු ගෙවීම් අත්හිටුවීමේ අර්බුදයකට මුහුණ දෙන ආර්ථිකයන් බොහොමයකට ආරම්භයේදී දළ දේශීය නිෂ්පාදතියේ හැකිලීමක් අත් විඳීමට සිදු වේ.

අවම වශයෙන්  2026/2027 වන විට හෝ ශ්‍රී ලංකාව 2018 පැවති නිෂ්පාදන මට්ටම අත් කර ගත හැකි වේ ද?

දළ දේශීය නිෂ්පාදිතය සඳහා පූර්ව-අර්බුද අවධියේ පැවති මට්ටම යළි අත් කර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් නවය අතුරින්, අවස්ථා 6 ක දී වසර් තුනක් තුළ එම මට්ටම් යළි අත් කර ගෙන ඇති අතර ඉතිරි අවස්ථා තුනේදී වසර හයක් තුළ එම මට්ටම් යළි අත් කර ගෙන ඇත (අංක 1 වගුවබලන්න).

FactCheck.lk විසින් මෙහිදී ශ්‍රී ලංකාවේ වර්ධනය සඳහා IMF සංවිධානය ඉදිරිපත් කර ඇති නවතම පුරෝකථනයන් යොදා ගත් අතර, 2025 සහ 2026 සඳහා මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3% ක් ලෙස ඒහි  ඇස්තමේන්තු කර ඇත. පුරෝකථනය කර ඇති මෙම වේගයට අනුව, ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2027 වන විටඑනම්, අර්බුදය ආරම්භ වී වසර පහකට පසුඒ සඳහා පූර්ව-අර්බුද අවධියේ (2018) පැවති නිෂ්පාදන මට්ටම ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ  (අංක 1 රූප සටහන බලන්න). එබැවින්, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා මහ බැංකු අධිපති සඳහන් කළ 2026/2027 කාලසීමාව IMF සංවිධානයේ පුරෝකථනයන්ට අනුකූල වේ. කෙසේ වෙතත්, මෙම කාලරාමුව තුළ, මෑතකදී ක්‍රියාත්මක කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් අතුරින් දෙවනුවට අඩුම වේගයකින් යථා තත්ත්වයට පත් වන රට බවට ශ්‍රී ලංකාව පත් වනු ඇත. ඊට වඩා වැඩි කාලයක් ගෙන ඇත්තේ ආර්ජන්ටිනාව පමණි.

සාරාංශයක් ලෙස, ණය අර්බුදයක් හේතුවෙන් සාමාන්‍යයෙන් නිෂ්පාදනය පහත වැටෙන බවත්, ශ්‍රී ලංකාවට 2027 වන විට 2018 පැවති නිෂ්පාදනමට්ටම යළි අත් කර ගැනීමේ හැකියාව පවතින බවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති නිවැරදි වේ.

එබැවින්, අපි මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: අර්බුදයට පෙර පැවති උපරිම මූර්ත නිෂ්පාදන මට්ටම අත් කර ගැනීමට ගත වූ කාලය*



මූලාශ්‍රය

IMF World Economic Outlook. https://www.imf.org/en/Publications/WEO

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.