සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් නාගරීකරණය සම්බන්ධ දත්ත නිවැරදිව උපුටා දක්වා ඇතත් එහි අර්ථ නිරූපණය වැරදිය.

"

“[ශ්‍රී ලංකාවේ ජනගහණයෙන්] 74%ක් ජිවත් වෙන්නේ ග්‍රාමීය විදියටයි.”

Divaina | ඔක්තෝබර් 15, 2018

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ඔක්තෝබර් 15 වැනි දින දිවයින පුවත්පත පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් කළ පහත ප්‍රකාශය වාර්තා කර තිබුණි:

“[ශ්‍රී ලංකාවේ ජනගහණයෙන්] 74%ක් ජිවත් වෙන්නේ ග්‍රාමීය විදියටයි.”

මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සත්‍ය ද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2018 වසරේ (2012 ජනසංඛ්‍යාලේඛන දත්ත මත පදනම් වූ), දත්ත වලට අනුව ග්‍රාමීය ප්‍රදේශයන්හි ජීවත් වන ජනගහනය ප්‍රතිශතයක් ලෙස 77.4% ක් වේ.

හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශයේදී භාවිතා කළ අගය ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන අංකයට ආසන්න වේ. කෙසේ වුවත් මෙම සංඛ්‍යාලේඛනයේ ඇති “ග්‍රාමීය” සහ “නාගරික” යන නිර්වචනයන් සඳහා භාවිතා කරන්නේ “ග්‍රාමීය කලාප” ලෙසින් වර්ගීකරණය කළ ප්‍රදේශයන්හි ජීවත් වන ජන ප්‍රතිශතය යි. වර්ගීකරණ ක්‍රමයේ ඇති අසමතාවයන් හේතුවෙන් මෙය ග්‍රාමීය විදිහට ජීවත් වීම හා සම කළ නොහැක. ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශයන් වර්ගීකරණය හුදෙක්ම පාදක කොටගෙන ඇත්තේ පැරණි පරිපාලන නම් කිරීම් (පහතින් විස්තර කර ඇති ආකාරයට) වන අතර, ඒවා බොහෝ විට වර්තමානයේ එම ප්‍රදේශයන්හි සැබෑ ජන ජීවිතය හා නොසැසඳේ. එහි ප්‍රතිඵලයක් ලෙසට හඳුන්නෙත්ති මහතා විසින් මිනිසුන් වාසය කරනා පරිසරය/ජීවන රටාව පිළිබඳ සඳහන් කිරීමට භාවිතා කළ දත්ත නිවැරදි නොවුණි.

නිගමනය:

හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති දැඩිසේ නොමඟ යවන සුළු සංඛ්‍යාලේඛන දත්ත දළ වශයෙන් නිවැරදිව උපුටා දක්වා තිබේ. කෙසේ වුවත් මෙම සංඛ්‍යාලේඛනයන් මගින් ග්‍රාමීය දිවි පෙවතක/ග්‍රාමීය පරිසරයක ජීවත් වන මිනිසුන්ගේ සැබෑ ප්‍රතිශතය ග්‍රහණය කර නොගන්නා බැවින්, එය හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් නිවැරදිව අර්ථ දක්වා නොමැත. එනිසා ඔහුගේ මෙම ප්‍රකාශය අප විසින් අර්ධ සත්‍යයක් ලෙසින් වර්ගීකරණය කර ඇත. වඩාත් නිවැරදි සංඛ්‍යාලේඛන හා දත්ත ලෙස බැලූ විට පෙනී යන්නේ ග්‍රාමීය පසුතලයක ජීවත් වන ජනගහණය ප්‍රතිශතයක් ලෙස 56%ක් බවයි.

හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැරදි ලෙස අර්ථකථනය කර ඇති නිර්වචන:

2012 ජන හා නිවාස සංගණනයේ අවසාන වාර්තාව භාවිතා කර ඇති “නාගරික” හා “ග්‍රාමීය” නිර්වචන පහත පරිදි වේ.

නාගරික කලාප – මහනගර සභා සහ නගර සභා මගින් පරිපාලනය කරනු ලබන සියලුම ප්‍රදේශ නාගරික කලාප යටතට අයත් වේ;

වතු කලාප – අක්කර 20 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක පැතිර ගිය ඕනෑම වැවිලි භෝගයක් ඇති වතුයායක් වතු කලාපයට අයත් වේ;

ග්‍රාමීය කලාප – නාගරික හෝ වතු කලාපයන්ට අයත් නොවනා රටේ අනෙකුත් සියලුම ප්‍රදේශයන් ග්‍රාමීය කලාපයට අයත් වේ.

මෙම අර්ථ දැක්වීම් සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ 1987 වසරේදී නියම කරනු ලැබූ පරිපාලන නිර්ණායකයන් මත වන අතර, එයින් රටේ වත්මන් යතාර්ථය පිළිබිඹු නොවේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් කැලණිය සහ හෝමාගම යන ප්‍රදේශ දෙකම පාලනය වන්නේ ප්‍රාදේශීය සභාවන්ගෙන් වන අතර, උක්ත නිර්වචනයට අනුව එම ප්‍රදේශයන් ග්‍රාමීය කලාප ගණයට අයත් වේ. නමුත් සැබවින්ම එම ප්‍රදේශ ප්‍රධාන නාගරික මධ්‍යස්ථානයන් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ග්‍රාමීය කලාප සම්බන්ධයෙන් වන මෙම නිර්වචනය, ග්‍රාමීය පරිසරය/ ග්‍රාමීය ජීවන රටාව විස්තර කිරීමට යොදා ගැනීම තවදුරටත් අර්ථාන්විත නොවේ.
සංගණනයේ වැදගත් සොයාගැනීම් වාර්තාව මගින්ම දක්වන ආකාරයට, නාගරීකරණයේ මට්ටම රඳා පවතින්නේ එහි නිර්වචනය මතයි .එනිසා හුදු පරිපාලන නිර්ණායකයන් මත පදනම් වනු වෙනුවට ජනගහනයේ ලක්ෂණයන් සැලකිල්ලට ගනිමින්, නාගරික ප්‍රදේශයන් සඳහා යතාර්ථවාදී නිර්වචනයක් හඳුන්වා දීම වැදගත් වේ.

වඩාත් නිවැරදි සංඛ්‍යාලේඛන සඳහා මූලාශ්‍රය:

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) මගින් නාගරික කලාපයන් සඳහා පහත දැක්වෙන විකල්ප නිර්වචනය යෝජනා කර සිටී:

ග්‍රාම නිලධාරී වසමක (GND) අවම 750 දෙනෙකුගේ ජනගහණයක් තිබේ නම්, ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 500 දෙනෙකුට වඩා වැඩි නම්, ඉවුම් පිහුම් සඳහා දර පරිභෝජනය මත යැපීම ගෘහ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට 95% ට වඩා අඩු නම් සහ ළිං ජලය මත යැපීම ගෘහ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට 95% කට වඩා අඩු නම්, එම ග්‍රාම සේවා වසම නාගරික කලාපයක් ලෙසින් අර්ථ දැක්විය හැක.

මෙම නිර්වචනයට අනුව ග්‍රාමීය ප්‍රදේශයන්හි ජීවත් වන ජනගහණය ප්‍රතිශතයක් ලෙසින් ගත් විට 56.2% ක් වන අතර, එය ජන සංගණන නිර්වචනයට අනුව ලබාගත් ප්‍රතිශතයට වඩා ඉතා පහළ අගයක් ගනී.



මූලාශ්‍රය