රාජිත සේනාරත්න

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, මැලේරියා රෝගයේ අවපාතය පිළිබඳ නිරවද්‍ය නොවූ තොරතුරු ගෙනහැර දක්වයි

"

මම 2016 දී මැලේරියා රෝගය ලංකාවෙන් ඉවර කළා.

දිවයින | ජූනි 24, 2020

false

වැරදියි

තොරතුරු පිරික්සීම

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය ඇගයුම් කර බැලීම උදෙසා, FactCheck.lk මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැලේරියා පාරිභාෂික නාමාවලිය සහ වාර්ෂික වාර්තාවන්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා ක්‍රමෝපායික සැලසුමද පරිශීලනය කොට ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දක්වන්නේ, මැලේරියාවෙන් නිදහස්ය යන සහතිකය ලබාදෙන්නේ, “සමස්ත රටේම එක දිගට වසර තුනක් සඳහා ඇනෝපිලිස් මදුරුවන්ගෙන් මිනිසුන්ට රට තුළ මැලේරියාව සම්ප්‍රේෂණය වීම වළක්වා ඇති බව සාධාරණ සැකයකින් තොරව දැක්වීමෙන් පසුව” බවයි.

රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසින් පත් වූයේ 2015 ජනවාරි 12 වෙනි දිනයි. 2016 දී, එනම් අමාත්‍ය සේනාරත්නගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට මැලේරියාවෙන් නිදහස්ය යන තත්වය පිරිනැමුණු නමුත්, ජාතික මැලේරියා ක්‍රමෝපායික සැලසුම මගින් දැක්වෙන්නේ 2012 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ රට තුළ මැලේරියාව ආසාදනය වූ රෝගීන් වාර්තා වී නොමැති බවයි. නිදර්ශක අංක 2 මගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර තත්වයකට පැමිණීමේ ප්‍රගතියක් අත්පත් කොට ගෙන ඇත්තේ පරිපාලනයන් ගණනාවක් යටතේදී බවයි. එනම්, අඩු තරමින් 1999 න් පසුව රට තුළ ආසාදනය වූ මැලේරියා රෝගීන් ප්‍රමාණය විශාල ලෙසින් අඩුව ගොස් තිබිණි. 1999 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරුන් 6 දෙනෙකු සිට ඇත.

එනිසා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය දෙයාකාරයකින් සාවද්‍ය වේ. එනම් (1) එය අවුරුදු 15 ක් පුරා සිදු වූ සාමූහික සැලසුම් ක්‍රමෝපාය වැඩසටහන්වල ප්‍රතිඵලයක් වූ නිසාවෙන්, මැලේරියාව තුරන් කිරීමේ සම්මානය එක් අයෙකුට බැර කළ නොහැක. එසේම (2) ශ්‍රී ලංකාවේ රට තුළ ආසාදිත අවසාන මැලේරියා රෝගියා වාර්තා වී ඇත්තේ, රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ලෙසින් ධූරයේ වැඩ භාරගැනීමට වසර තුනකට පෙරාතුවය.

එනිසා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය සාවද්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 



මූලාශ්‍රය

  • ලෝක සෞඛ්‍ය සංවිධානය, ගෝලීය මැලේරියා වැඩසටහන, WHO malaria terminology, 2016, පි. 12.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය, මැලේරියා මර්දන ව්‍යාපාරය, ජාතික මැලේරියා ක්‍රමෝපායික සැලසුම, 2014-2018, පිවිසුම මෙතැනින්: http://amc.health.gov.lk/index.php/en/resources/strategic-plan [අවසන් වරට ප්‍රවේශය: 2020 අගෝස්තු 12]
  • සෞඛ්‍ය අමාත්‍යාංශය, මැලේරියා මර්දන ව්‍යාපාරය, වාර්ෂික වාර්තා 2014 – 2016.